2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

දෙපිලේම පන්දු යවන්නෝ පිතිකරුවන් තලා දමති

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගය කරච්චිහිදී පසුගිය බ‍්‍රහස්පතින්දා ආරම්භ වූ අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා තරගාවලියේ ජයග‍්‍රහණයට මෙම තරගයේ ප‍්‍රතිඵලය තීරණාත්මක සාධයක බවට පත්ව තිබුණි.

කරච්චිහිදී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනයේදී කඩුලු 13 ක් බිඳ වැටීම වඩාත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 64 ක් රැස් කර සිටියේය.

මෙම තරගය වනවිට ශ්‍රී ලංකාවට ප‍්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනකු වන සුරංග ලක්මාල් සහ කසුන් රාජිතගේ සේවය අහිමි වී තිබුණි. ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ගේ ආධුනික බව ප‍්‍රයෝජනයට ගනිමින් පාකිස්තානය මෙම තරගයේදී ද වේග පන්දු යවන්නන්ට වාසි ගෙන දෙන තණතීරුවක් ලබාදී තිබූ අතර ඔවුන්ගේ ප‍්‍රධානම දඟ පන්දු යවන්නා වන යසීර් ෂා තරගයට කැඳවා තිබුණි.

පළමු දිනයේ ශ්‍රී ලංකා පිලේ කඩුලු තුනක් බිඳ වැටුණ ද ඒ වනවිට යසීර් ෂා පන්දු යැවීමට කැඳවා නොතිබුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ  ඕවර 59.3කදී පාකිස්තානු ඉනිම ලකුණු 191කට සීමා කිරීමට සමත් වූහ. එහිදී ළහිරු කුමාර (49/4) සහ විශ්ව ප‍්‍රනාන්දු (31/2) වේග පන්දු යවන්නන් දෙපළ කඩුලු හයක් දවාගත්හ.

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය කඩුලු හතරක් දවාගැනීම මෙහිදී කැපී පෙනුණි. ශ්‍රී ලංකාව කඩුලු දවාගත් සංයුතිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද අභියෝගයක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වීම නිසා ප‍්‍රසාද ලකුණු වැඩි සංඛ්‍යාවක් එකතු කරගැනීමට ද මෙය හොඳ අවස්ථාවක් බවට ද පත්කරගත හැකිය.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග තුනකට සහභාගි වී තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 80 ක් හිමිකරගනිමින් තෙවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා පිල කරච්චි තරගය ජය ලැබුවහොත් පළමු තරගාවලිය ජය ලබා තවදුරටත් තෙවැනි ස්ථානය ආරක්‍ෂා කරගැනීමේ අවස්ථාව හිමි වේ.

ඉන්දියාව මේ වනවිට සහභාගි වූ තරග හතම ජය ලබා ප‍්‍රසාද ලකුණු 360 ක් හිමිකරගනිමින් පළමු ස්ථානයේ සිටියි. 
ඕස්ට්‍රේලියාව තරග අටකට සහභාගි වී තරග පහක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 216 ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
පාකිස්තානය මේ වනවිට තරග තුනකට සහභාගි වී තරග දෙකක් පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා හයවැනි ස්ථානයේ පසුවෙයි.

රාවල්පින්ඩි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් සහ මන්දාලෝකයෙන් බාධා ඇති වීම නිසා තරගය වැඩි කාලයක් අත්හිටුවා තැබීමට සිදුවූ අතර එහිදී ධනංජය ද සිල්වා ශතකයක් රුස්කිරීම ටෙස්ට් පිලේ සමබරතාව රැකගැනීමට වඩාත් වැදගත් විය.

පාකිස්තානයේ වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගයේදී මීට වඩා සමබර තණතීරුවක් සකස් කළේ නම් වටින බව බොහෝ දෙනකුගේ අදහසයි. රාවල්පිණ්ඩි තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසියක් ගෙන දෙනු ඇතැයි උපකල්පනය කරමින් පාකිස්තානය වේග පන්දු යවන්නන් සිවුදෙනකුගෙන් ද, ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනකුගෙන් ද, තරගයට පිවිසියේය. එසේ වුවද එවැනි කිසිදු සහයක් නොලැබුණි.

- යොහාන් භාසුර