2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට “සාග්” රන් පදක්කම් දෙකක් අහිමි කළේ කවුද?

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

නේපාලයේදී පැවැති 13 වැනි ‘සාග්’ ක‍්‍රීඩා උළෙලේ විස්සයි20 ක‍්‍රිකට් පිරිමි සහ කාන්තා රන් පදක්කම් දෙක ශ්‍රී ලංකාවට අහිමිවීම පිළිබඳව ක‍්‍රීඩා බලධාරීන්ට මේ වනවිට චෝදනා එල්ල වී තිබේ. මෙම සිද්ධිය ලෙස බැලූ බැල්මට ක‍්‍රීඩා අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වගකීම් පැහැර හැර ඇති බව පෙනෙයි.

තරගාවලිය නීතිරීති අනුව පිරිමි තරගාවලිය වයස 23න් පහළ තරගාවලියක් වුවද එම තරගයකට සහභාගි වන 11 දෙනාට වයස 23 ට වැඩි ක‍්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් කළ හැකිය. කාන්තා තරගාවලියට ජාතික කණ්ඩායම සහභාගි කරවීමේ අවස්ථාව තිබුණි. එය එසේ වුවද ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලි දෙකටම වයස 23න් පහළ කණ්ඩායම් සහභාගි කරවීය. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් සඳහා පැවති අවසන් මහ තරග දෙකේදීම බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය. 

බංග්ලාදේශය පිරිමි කණ්ඩායමට සෞම්‍ය සාකර් වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ප‍්‍රබල ක‍්‍රීඩකයන් කීපදෙනකු ඇතුළත් කර තිබූ අතර අවසන් තරගයේදී සාකර් හොඳ ආරම්භයක් ලබාදුන්නේය. අවසන් මහ තරගයට සහභාගි වූ බංග්ලාදේශ කාන්තා පිලට ජාතික කණ්ඩායමේ නායිකාව ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩිකාවෝ 10 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක‍්‍රිකට් පිළිබඳ ප‍්‍රධානී චන්දිම මාපටුන මහතා පවසන්නේ තරගාවලියේ නීති රීති වෙනස්වීම් පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යංශය හෝ ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් නොකළ බවයි. 
“මම සහභාගි වූ සාකච්ඡාවලදී කිව්වේ පිරිමි සහ කාන්තා වයස 23න් පහළ කණ්ඩායම් සහභාගි කරවන්න කියලයි. ඒ නිසයි අපි 23න් පහළ කණ්ඩායම් සහභාගි කළේ. අපිට ඔය නීතිරීති වෙනස්වීම් ගැන දැනුවත් කළා නම් අනිවාර්යයෙන් ඒවාට ගැලපෙන කණ්ඩායම් සහභාගි කරනවා” යැයි මාපටුන මහතා පැවසීය. 

සාග් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව සූදානම් කිරීමේදී ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව අතර පැවැති සීතල යුද්ධය ප‍්‍රසිද්ධ රහසකි. ජාතික ඔලිම්පික් කමිටුවට වෙන්කළේ යැයි කියන රුපියල් මිලියන 100 ක මුදලක් ක‍්‍රීඩා අමාත්‍යංශය සාග් ක‍්‍රීඩා උළෙලට ලබාගැනීම මෙම ගැටුම්කාරී තත්ත්වයට ප‍්‍රධාන හේතුව බවට පත්විය. සාග් ක‍්‍රීඩා උළෙල සංවිධානයේදී ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව යන ආයතනය දෙක තුළම පැවති දුර්වලතාව මෙම තත්ත්වයට එක හේතුවකි.
කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය සඳුදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ තරගාවලියේ සියලූම ක‍්‍රීඩාවල තාක්‍ෂණික උපදේශන පොත ක‍්‍රීඩා උළෙලට සති දෙකකට පමණ පෙර සෑම ක‍්‍රීඩා සංගමයකටම යොමුකළ බවයි.

“අපි නේපාලයට යන විටම බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් මුණගැසුණා. එහි ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ නායිකාව සල්මා කතුන් හිටියා. අපි ඇයගෙන් ඇහුවා ඔයාත් සෙල්ලම් කරනවාද කියලා. ඇය කිව්වා ඔව් කියලා” යැයි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.

“නේපාලයේ සිට කාන්තා කණ්ඩායමේ කළමනාකරු මෙම කණ්ඩායම් වෙනස ගැන දැනුම්වත් කළා. එහිදී මම ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසුවා අපි කණ්ඩායම් දෙක ඉවත්කරගමුද කියලා. නමුත් ඔහු කිව්වා දැන් අපි නේපාලයට ගිහින් ඉන්න නිසා ක‍්‍රීඩා කරමු කියලා” යැයි මාපටුන මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම අවස්ථාවේදී ක‍්‍රියාත්මක වී ප‍්‍රබල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහිපදෙනකු හෝ තරගාවලියට සහභාගි කළේ නම් රන් පදක්කම් දෙක පහසුවෙන් දිනාගැනීමේ අවස්ථාව තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සතුව කොන්ත‍්‍රාත්ගත ක‍්‍රීඩකයන් 70ක් පමණ සිටින අතර ඒ අතරින් ප‍්‍රබල ක‍්‍රීඩකයන් පස්දෙනකු පමණ නේපාලයට පිටත් කර හැරියේ නම් ඉන් තිදෙනකට අඩුම තරමින් අවසන් මහ තරගයට හෝ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව තිබුණි.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩිකාවන් ඩෙංගු රෝගී තත්ත්වයෙන් රෝහල්ගත වීම නිසා ආදේශක ක‍්‍රීඩිකාවන් ලෙස නිලානි රත්නායක, දිල්ෂි කුමාරසිංහ වැනි ක‍්‍රීඩිකාවන් රන් පදක්කම් දිනාගත් බව අමතක නොකළ යුතුය. මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩිකාවන් වැඩි සංඛ්‍යාවක් කැමැත්තෙන් පසුවද වයස 23න් පහළ වීම නිසා ඔවුන් පසුබැස තිබේ. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහ තරගයේදී ලකුණු 2 කින් බංග්ලාදේශය හමුවේ පරාජයට පත්ව රිදී පදක්කම ලැබීය. ශ්‍රී ලංකා පිලට අඩුම තරමින් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළත් වූයේ නම් රන් පදක්කම පහසුවෙන් ජය ලබනවාට සැක නැත.

බංග්ලාදේශ පිලේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා නේපාලයේදී පවසා ඇත්තේ තමන් අවසන් මොහොතේ මෙම නීති රීති වෙනස පිළිබඳව දැනුවත් වීමෙන් පසුව ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැගෙන ආ බවයි. මෙම සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයද වගකීම පැහැර හරිමින් ජාතික වගකීමක් මඟහැර ඇති බව පැහැදිලිය.  

 යොහාන් භාසුර