2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

හතුරුසිංහගෙන් ක්‍රිකට් ආයතනයට නඩු

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටවූ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පැවරීම සඳහා මේ වනවිට විදේශගත වී ඇති බව දැනගන්නට තිබේ. හතුරුසිංහ මහතාගේ නීතිඥයන් මේ වනවිට ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් ලබන ජනවාරි මස මුල වනවිට එය නිලවශයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දීමට නියමිත බවත් වාර්තා වේ. 

එංගලන්තයේදී පසුගිය ජූලි මස අවසන් වූ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවීය. ඔහු සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර ගිවිසුම අවසන් වීමට මාස 15 කට පමණ පෙර ඔහුගේ වැටුප අත්හිටුවා තිබේ. හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පරීක්‍ෂණයක් පැවැත්වූ අතර ඔහු එම පරීක්‍ෂණයට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඔහු නොමැතිව එම පරීක්‍ෂණය ක‍්‍රියාත්මක විය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ එම පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තෙක් ලබා සිටින බවයි. “අපිට පරීක්‍ෂණ වාර්තාව ලැබුණම එහි නිර්දේශ අනුව කටයුතු කරනවා. ඒ අනුව හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එන්න පුළුවන්” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැන් පැවැත්වෙන පාකිස්තානු සංචාරයට පෙර ශ්‍රී ලංකා පිලේ ‘උපදේශක ප‍්‍රධාන පුහුණුකරු’ ලෙස මිකී ආතර් මහතා පත්කළ අතර ප‍්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පාකිස්තානු සංචාරයට සහභාගි විය. මෙම පුහුණුකරුවන් පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා සම්බන්ධ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසු වන බව පැහැදිලිය. 

හතුරුසිංහ මහතාට මාස කීපයක වැටුප ලබාදී ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මීට පෙර යෝජනා කළද ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබුණි. මෙම තත්ත්වය හමුවේ හතුරුසිංහ මහතා නඩු පැවරා වන්දි ලබාගැනීමට වැඩි ඉඩක් ඇති බව නම් වඩාත් පැහැදිලිය. හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර පවතින ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඒකපාර්ශ්වීයව ගිවිසුම අත්හිටුවන්නේ නම් රුපියල් කෝටි 10 ක පමණ වන්දියක් ගෙවිය යුතුය.
හතුරුසිංහ මහතා සේවය කළ වසරකට අධික කාලය තුළ මාසකට රුපියල් ලක්‍ෂ 80 කට අධික වැටුපක් ලබා තිබූ අතර ඇතැම් මාසවල වැටුප ලක්‍ෂ 90කට ද ආසන්න වී තිබුණි.  

I වරකාගොඩ ගමගේ