2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ක්‍රිකට් ටීම් ඇනිල්ලේ මැතිව්ස් සාධකය

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 159

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් යනු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ  ඕනෑම අංශයක තරගයක් වෙනස් කළ හැකි ක‍්‍රීඩකයකු යැයි බොහෝ දෙනකුගේ විශ්වාසයයි. මැතිව්ස් එවැනි වික‍්‍රමයන් ප‍්‍රදර්ශනය කරමින් එම විශ්වාසය ගොඩනඟාගෙන සිටියේය.

එංගලන්තයේදී පසුගිය ජූලි මස පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණයේ මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම වඩාත් තීරණාත්මක සාධකය බවට පත්විය.

වසරකට ආසන්න කාලයක් පන්දු යැවීමෙන් ඉවත්ව සිටි මැතිව්ස්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයේදී යැවූ  ඕවරය වඩාත් තීරණාත්මක විය.  එය එසේ වුවද අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගවලට පමණක් සීමා කිරීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක කරමින් සිටියි. 

එහි පළමු පියවර ලෙස ඇන්ජලෝ මැතිව්ස් විස්සයි20 පිලෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය. 

‘‘ඔයාගෙ දැන් විකට් එකේ දිවීමේ දුර්වලකමක් පේනවා. ඔයාට වඩා පොඩි අය ලොකු පාරවල්වලට යනවා. ඒකයි අපි ඔයාව එළියෙන් තිබ්බේ’’ යැයි තේරීම් කමිටුව මැතිව්ස්ට පවසා ඇතැයි දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා විස්සයි20 පිල ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය පරාජයට පත්වීමෙන් පසුව ක‍්‍රිකට් තේරීම් කමිටුව පිළිබ`දව නැවතත් කථා බහක් නිර්මාණය විය. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව එහිදී 3x0 කින් පරාජයට පත්වූ අතර එම තරගාවලිය පුරා ක‍්‍රීඩකයන් දාම් අදින්නාක් සේ මාරු කළ ආකාරය දැකගත හැකිවිය. 

මාලිංග සහ තේරීම් කමිටු සභාපති මෙන්ම කණ්ඩායමේ කළමනාකරු ලෙස ද කටයුතු කරන අසන්ත ද මෙල් එකතුව මෙම ඇනිල්ල කළ බවට කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. අබුඩාබිහිදී දැන් පැවැත්වෙන ටී10 (ඉනිමක් ඕවර 10) තරගාවලියේදී මැතිව්ස් පිතිකරුවකු ලෙස ප‍්‍රදර්ශනය කරන දස්කම් සමගින් නැවතත් ඔහු කථා බහට ලක්ව තිබේ.

මැතිව්ස් එම තරගාවලියේ දිල්ලි බුල්ස් පිල නියෝජනය කරමින් මේ දක්වා සහභාගි වූ තරග කිහිපයේදී වඩාත් වේගවත් පිතිහරඹයක් දියත් කළේය. එහිදී දිල්ලි පිල ලැබූ සාර්ථකත්වයට මැතිව්ස්ගේ දස්කම් වඩාත් තීරණාත්මක විය.

වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ වඩාත් වේගවත්ම ආරම්භක පිතිකරු වන කුසල් පෙරේරා ටී10 තරගාවලියේදී දිල්ලි බුල්ස් පිලේ ආරම්භක පිතිකරු ලෙස දස්කම් දැක්වීම ද ශ්‍රී ලංකා තේරීම් කමිටුවට කණේ පහරකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමුවෙන්ම කළ යුතුව ඇත්තේ අසන්ත ද මෙල් මහතාට එක රාජකාරියක් පමණක් පැවරීමය. කළමනාකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් එක පුද්ගලයකුට කණ්ඩායම තුළ විශාල බලයක් හිමිවේ. එසේ වීමෙන් හොඳ කණ්ඩායම ක‍්‍රීඩා කරනවාද යන ගැටලුව මතුවේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික ලෙස ෆර්විස් මහරුෆ් කටයුතු කිරීමෙන් එම කණ්ඩායම තුළ ද ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බව දැනගන්නට තිබේ.

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සාර්ථක වියහැකි කණ්ඩායමක් සහභාගි කරවීමට නම් අනිවාර්ය‍ෙයන්ම ඇන්ජලෝ මැතිව්ස් වැනි අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් කණ්ඩායමට ගෙන ආ යුතුය.  

 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00