2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

සාග් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 1000ක්?

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

දහතුන්වැනි සාග් ක‍්‍රීඩා උළෙල නිල වශයෙන් ලබන 1 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද වොලිබෝල් තරගාවලිය කත්මණ්ඩු නුවරදී ලබන බදාදා (27 වැනිදා) ආරම්භ වීමට නියමිත විය.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන් 900 කට අධික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඇතැම් ක‍්‍රීඩා කණ්ඩායම් අඩු කරමින් දැවැන්ත කණ්ඩායම අවම කිරීමට කටයුතු කරන බව පැවසුව ද ජනාධිපතිවරණයත් සමඟ එම තීරණය වෙනස් වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 1000 ඉක්මවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ. ශ‍්‍රී ලංකාව මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රීඩා 27 කට සහභාගි වීමට නියමිතය. පිහිනුම්, වූෂු සහ මලල ක‍්‍රීඩා ඇතුළු කණ්ඩායම් ලබන සතිය ආරම්භයේ සිට නේපාලය බලා පිටත්ව යෑමට නියමිතය.

 ශ‍්‍රී ලංකාව පිහිනුම් සහ මලල ක‍්‍රීඩා ඉසව්වලින් වැඩිම රන් පදක්කම් බලාපොරොත්තුවෙන් සිටියි. මලල ක‍්‍රීඩා ඉසව් දෙසැම්බර් මස 3 වැනිදා ද, පිහිනුම් ඉසව් ලබන 5 වැනිදා ද, ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ ඇති වූ දේශපාලන පෙරළියත් සමඟ සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ඇතැම් නිලධාරීන් අඩු වූවද ඉදිරියේදී ඇති වන දේශපාලන පත්වීම් ද සමඟ එය පැවතියාට වඩා වැඩි වීමට ඉඩ තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ධූරයෙන් ඉවත්වීමත් සමඟ ක‍්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරමින් නේපාල සංචාරයට සහභාගි වීමට නියමිතව සිටි නිලධාරීන් කීපදෙනකු ඉවත්ව ඇති බව ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් දැවැන්ත කණ්ඩායමක් සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන බවට මාධ්‍යවල පළවීමෙන් පසුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් උදහසට ලක්ව පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ක‍්‍රීඩා උළෙල වාර්තා කිරීමට අනුග‍්‍රහය දැක්වීමට දැඩි විරෝධය පළ කළ බව වාර්තා වේ.

 වරකාගොඩ ගමගේ