2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අපි ඉල්ලුවේ ඕක නොවෙයි

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

“මම ඕන වෙලාවක සූදානම් ඔය කන්ට්‍රෑක් එක එපා කියන්න. අපි ඉල්ලුවෙ ඕක නොමෙයි. මේක කරලා තියෙන්නේ සීනියර්ස්ලා කීපදෙනෙක් දාලා කට වහන වැඩක්”

“අපි ඉල්ලුවේ පළමු පෙළ තරගවලට ගෙවන ගාණ වැඩි කරන්න කියලා. එතකොට ඔය දීලා තියෙන ගානට වඩා වැඩි ගානක් සියලුම ක්‍රීඩකයන් ලැබෙනවා” යැයි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් ‘දේශය’ට පැවසීය. 
එම ක්‍රීඩකයා මෙසේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට තවත් ක්‍රීඩකයන් 23 දෙනකු ඇතුළත් කිරීම පිළිබඳව අදහස් දක්වමිනි. වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 50 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවී පළමු පෙළ තරගවලට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීමක් කළහ. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් සාකච්ඡා කරන බවට ක්‍රීඩකයන්ට පොරොන්දුවක් ලබාදී තිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට ප්‍රතිචාර ලෙස පසුගිය සතිය මුල ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 14 දෙනකු ඇතුළත් 23 දෙනකු නව කොන්ත්‍රාත් ගිවිසුමකට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. මෙම ලැයිස්තුව 30 ක් බවට පත්කිරීමට වයස 19න් පහළ පිල නියෝජනය කරන දස්කම් දක්වන ක්‍රීඩකයන් කීපදෙනකු සහ අභියාචනා සලකා බලා තවත් හත්දෙනකු ඇතුළත් කිරීමට නියමිතය.  

උපුල් තරංග, චාමර සිල්වා, තරංග පරණවිතාන, අසේල ගුණරත්න, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, මිලින්ද සිරිවර්ධන සහ සචිත්‍ර සේනානායක යන ටෙස්ට් ක්‍රීඩකයෝ මීට ඇතුළත්ව සිටියහ. මෙම පිරිස අතරට අෂාන් ප්‍රියංජන්, චතුරංග ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය සහ ප්‍රියමාල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ එක්දින ක්‍රීඩකයෝද ඇතුළත් වූහ. 

මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට ඇතුළත් කරමින් තරග දීමනාව වැඩි කිරීම යට ගැසීමේ උත්සාහයක ක්‍රිකට් ආයතනය නිරතවන බව ක්‍රීඩකයෝ චෝදනා කරති. මෙම ක්‍රීඩකයන් 30 දෙනාට අ‍ෙමරිකානු ඩොලර් 10,000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 18ක සහ අ‍ෙමරිකානු ඩොලර් 5,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 9ක වාර්ෂික දීමනාවක් ලැබීමට නියමිතය. ක්‍රීඩකයන් පවසන්නේ පළමු පෙළ තරගාවලියට සහභාගි වන සියලුම ක්‍රීඩකයන්ට ප්‍රතිලාභ ලැබුණහොත් දක්‍ෂ ක්‍රීඩකයන් ප්‍රමිතියෙන් තොර විදේශ තරගාවලිවලට සහභාගි වීම අඩු වනු ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට පළමු පෙළ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ දිනක ගෙවීම් රුපියල් 7500 සිට 12500 දක්වා 5000 කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉහළම කොටසේ පළමු පෙළ තරගයකට සහභාගි වන ක්‍රීඩකයකුට තරගයක් සඳහා රුපියල් 50,000 ක් එසේ නැත්නම් දින හතරකට රුපියල් 50,000 ක් හිමිවේ. පළමු පෙළ තරගාවලියේ ‘ඒ’ කොටසේ පළමු වටයේ තරග 6 කට ක්‍රීඩකයකු සහභාගි වන අතර ඉන්පසුව දෙවැනි වටයත් සමඟ තරග 12 කට අධික සංඛ්‍යාවකට පමණ සහභාගී වේ. ඊට අමතරව එක්දින තරග 10 කට අධික සංඛ්‍යාවකට සහභාගී වේ. 

මෙම වසරේ ගෙවීම් දෙස බැලීමේදී පළමු පෙළ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයකුට ලක්‍ෂ 7 කට අධික මුදලක් හිමිවේ. මෙම මුදල ලක්‍ෂ 10 කට වැඩි මුදල් බවට පත්කිරීම මෙම සටනට අවතීරණ වී සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ. 

 විශේෂ ලියුම්කරුවකු විසිනි