2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට යන “වන්දනා නඩ” 05ක් ඉවතට?

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට සූදානම්ව සිටින දැවැන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ විරෝධය හේතුවෙන් ක‍්‍රීඩා කිහිපයක් ඉවත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශයට ඥානය පහළ වී තිබුණි.

මෙම තීරණයත් සමඟ පදක්කම් ජය දිනාගත නොහැකි දැවැන්ත ක්‍රීඩා කණ්ඩායම් 05ක් පමණ ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණි. ඔවුන් ගමන සඳහා තම බඩු මලු ද සූදානම් කරගෙන ඇති බවද සඳහන්ය.

මෙම ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 27 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 690ක කණ්ඩායමක් මේ වනවිට නම් කර තිබේ. මෙම දැවැන්ත කණ්ඩායම සඳහා රුපියල් කෝටි 35 ක් හෙවත් ලක්‍ෂ 3500 ක් පමණ වැඩ කිරීමට සූදානම්ව සිටියි.ශ්‍රී ලංකාවෙන් මෙවර 800 කින් සමන්විත කණ්ඩායමක් සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට මුලදී සැලසුම් කර තිබුණි. එයට නිරීක්‍ෂණ නිලධාරීන් 15 ක් සහ ජනමාධ්‍යවේදීන් 20 ක් පමණ ද ඇතුළත් වෙති.

“මේ කණ්ඩායම වැඩියි කියලා විවිධ තැන්වලින් විවේචන තියෙනවා. මාධ්‍යවලිනුත් පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි ක‍්‍රීඩා කීපයක් ඉවත්කරන්න ක‍්‍රීඩා සභාවට බලය දුන්නා. ඇත්තටම මේ සංඛ්‍යාව වැඩියි කියලා මටත් හිතෙනවා. අවසන් වරට ඉන්දියාවේදී පැවැති සාග් ක‍්‍රීඩා උළෙලට 500 කට අඩු සංඛ්‍යාවක් සහභාගි වෙලා තියෙන්නෙ. ඒ නිසා තර්කානුකූලව මෙය කළ යුතුයි කියලා අපි හිතුවා” යැයි ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. 
ඉන්දියාවේදී 2016 වසරේ පැවැති 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී බොක්සිං, පාපන්දු, අත්පන්දු, ජූඩෝ, කබඩි සහ කෝකෝ යන ක‍්‍රීඩා එකම පදක්කමක් හෝ දිනාගැනීමට අපොහොසත් විය. මෙවර ක‍්‍රීඩා උළෙලේදී කෝ කෝ ක‍්‍රීඩාව නියෝජනය කිරීමට 37 කින් යුත් කණ්ඩායමක්, පාපන්දු තරගාවලියට 47 කින් යුත් කණ්ඩායමක්, බොක්සිං ඉසව්වලට 20 කට ආසන්න කණ්ඩායමක්, අත්පන්දු තරගාවලියට 40 කට ආසන්න කණ්ඩායමක්, ජූඩෝ ඉසව්වලට 25 කට අධික කණ්ඩායමක් සහ කබඩි තරගාවලියට 30 කට ආසන්න කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

මෙහිදී කෝ කෝ, පාපන්දු සහ අත්පන්දු යන ක‍්‍රීඩා තුන පමණක් ඉවත් කළ ද 150 කට ආසන්න සංඛ්‍යාවක් අඩු කිරීමේ අවස්ථාව තිබේ. ක‍්‍රීඩා අමාත්‍යංශයට කල්ගත වී හෝ ඥානය පහළ වීම ශ්‍රී ලංකා ජනතාවගේ වාසනාවකි. මෙම පිරිස කාබාසිනියා කරන්නේ ජනතාවගෙන් එකතු කරන බදු මුදල්ය.

 භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00