2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ලසිත්ගේ “ලිට්මස්” ටෙස්ට් එක

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 301

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා විස්සයි20 පිල ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා වඩාත් ප‍්‍රයෝජනවත් තරගාවලියකට අද මුලපුරයි.

ලොව අංක එකේ විස්සයි20 කණ්ඩායම වන පාකිස්තානය අර්බුදයකට ඇද දමමින් දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල ලැබූ පූර්ණ ජයග‍්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව නව ප‍්‍රබෝධයක් ලැබීය. එම ජයග‍්‍රහණයත් සමඟ මෙම තරගාවලිය ලසිත් මාලිංගටද අභියෝගයක් වී තිබේ. මාලිංග විස්සයි20 පිලේ නායකයා ලෙස නිරන්තරයෙන් ලොකු කථා කිව්වද දැනෙන දෙයක් කර නොමැත. ඒ හේතුවෙන් ඔහුට මේ තරගාවලිය “ලිට්මස්” පරීක්ෂාවක් වනු ඇත.

මාලිංග කඩුලු දවාගත්තද ඒ බොහෝ අවස්ථාවලදී කණ්ඩායම ජය ලබා නොමැත. මාලිංගගේ වගකීම වියයුත්තේ තම දස්කම් සහ සෙසු දසදෙනාගේ දස්කම් මුසුකරමින් කණ්ඩායම ජයග‍්‍රහණය දක්වා රැගෙන යෑමය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් ස්ථිර කරන විට ශ්‍රී ලංකාව ශ්‍රේණිත කිරීමේ නවවැනි ස්ථානයේ පසුවීම නිසා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියකටද සහභාගි වියයුතුව තිබේ. සුදුසුකම් ලැබීමේ කඩඉම පැනගැනීමට තරුණ ක‍්‍රීඩකයන් රැසකින් සමන්විත මෙම කණ්ඩායමට එතරම් අපහසු නොවනු ඇත. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ගේ සහ තේරීම් කමිටුවේ වර්තමාන වගකීම බවට පත්ව ඇත්තේ මෙම සංචාරයට සහභාගි වී සිටින සංචිතයේ 16 දෙනාගෙන් අවම වශයෙන් 12 දෙනකුවත් අඛණ්ඩව කණ්ඩායමේ රඳවා ගැනීමය. එසේ වුවහොත් විස්සයි20 තරග 30 කට අධික සංඛ්‍යාවකට සහභාගි වූ ක‍්‍රීඩකයන් වැඩි පිරිසකින් සමන්විත කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවීමේ අවස්ථාව හිමිවේ.

මෙම ලෝක කුසලාන තරගාවලිය ලසිත් මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගාවලියට වනවාට සැක නැත. එසේනම් විස්සයි20 කණ්ඩායමට නායකයෙක් නිර්මාණය කිරීමද මේ සමඟම ක‍්‍රියාත්මක කළ යුතුය. නිරෝෂන් දික්වැල්ලට උප නායකත්වය මේ වනවිට අහිමිවී තිබේ. ඔහුට කණ්ඩායමේ එකොළොස්දෙනා අතර ස්ථානයක් තිබේද යන්නද සැකසහිතය. අවිෂ්ක ප‍්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථාන තුන ලබාගත් පසු දික්වැල්ලට ස්ථානයක් වෙන්කිරීම අපහසුය. කෙසේ වෙතත් දික්වැල්ල ඉවත් කර තිසර පෙරේරා වැනි ක‍්‍රීඩකයෙක් සංචිතයට ගෙන ඒම ‘අටුව කඩා පුටුව සෑදීම’ වැනි දෙයකි. දික්වැල්ල සංචිතයේ සිටින්නේ නම් ඉදිරි පෙළ පිතිකරැවන්ට වැඩි පීඩනයක් යොමු වේ. 

පාකිස්තානු සංචාරයට සහභාගි නොවූ යොවුන් පිතිකරුවකු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුට මෙසේ පවසා තිබුණි. 

“අපෝ සර් ආයි නම් ඇෆ්ගනිස්තානෙ තිබුණත් මම නම් යනවා. ඊට පස්සේ කණ්ඩායමට එන්න මාර ගේමක් දෙන්න වෙනවා.”

පසුපෙළ ශක්තිමත්ව තිබීමෙන් කණ්ඩායම කොතරම් ශක්තිමත් වන්නේද යන්න එම ප‍්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ.

 යොහාන් භාසුර