බ‍්‍රසීලයේ රියෝ ද ජනයිරෝහිදී පැවැති XXXI වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට සුපුරැදු පරිදි ක‍්‍රීඩා විනෝද ගමනක් බවට පත්ව හමාරය. මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙන් ද සෙතක් සැළසුනේ ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ පිරිසකට බව අමුතුවෙන් කිවයුතු නැත.
ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් ද රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා වන්දනාවට අත ගසා සිටි බව සමාජ වෙබ් අඩවිවල පළකර තිබූ ඡායාරෑප සාක්‍ෂි දරයි.
මීළඟ ප‍්‍රධාන ක‍්‍රීඩා උළෙල වන ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල වියට්නාමයේදී ලබන ඔක්තෝබර් මස පැවැත්වෙන අතර එයට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ හෝ සහභාගි වීම ජාතික ඔලිම්පික් කමිටුවේ අදහස වී ඇතැයි පසුගිය දිනවල කළ ප‍්‍රකාශවලින් ඉඟිපළ විය.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මාස දෙක කාලයක් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතිය සංශෝධනය කිරීමට ඉඩ ලබාදී ඇති අතර රියෝහිදී සාකච්ඡාවට සහභාගි වූ ක‍්‍රීඩා ලොක්කන් ඒ පිළිබඳව කටයුතු කරන ආකරය දැකගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.
ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නව දෙනාගෙන් කණ්ඩායම් නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හැර සෙසු සියලුම දෙනාම තරගවලට සහභාගි වී අවසන්ය. ඇතැම්හූ ශ්‍රී ලංකාවට ද පැමිණ සිටිති.
මෙවර ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද අනුරාධ ඉන්ද්‍රජිත් පිරිමි මැරතන් තරගයට සහභාගි වීමට නියමිතව තිබුණි.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන කිමිකෝ රහීම් සහ මැතිව් අබේසිංහ, ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගල සමරකෝන්, මැරතන් ක‍්‍රීඩිකා ගීතානි රාජසේකර, හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩක සුමේධ රණසිංහ දැඩිව අසාර්ථක වූහ.
මෙහිදී බොහෝ දෙනා අර්ධ ශතක ස්ථානවලට පත්වූ අතර මැරතන් ක‍්‍රීඩිකා ගීතානි රාජසේකර 129 ස්ථානයට ඇද වැටුණි.
ජූඩෝ චාමර ධර්මවර්ධන සහ නිලූක කරැණාරත්න පමණක් තරග බැගින් ජය ලැබුව ද අගය කිරීමට තරම් විශාල දෙයක් සිදුවූයේ නැත.
ශ්‍රී ලංකාව ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දැඩි පසු බෑමකට ලක්ව සිටියදී ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහට ක‍්‍රීඩා අමාත්‍යංශයේ තනතුරක් ලබාදීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.
සුසන්තිකාගේ අත්දැකීම් ද ලබාගෙන 2020 නොව 2024 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට හෝ කැත නැතිව සටහනක් තැබිය හැකි දක්‍ෂතා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීප දෙනෙකු නිර්මාණය කිරීමට හැකිවේදැයි ශ්‍රී ලාංකිකයෝ බලා සිටිති.
වරකාගොඩ ගමගේ