2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ දොර වැසෙයි

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ සදාතනික කෙරුම්කාරයා යැයි බොහෝදෙනකු විශ්වාස කළ තිලංග සුමතිපාල මහතාට නැවත ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ විය නොහැකි ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගිය සතියේ තහනමක් පැනවීය. 
“ලොක්කා එගොල්ලන්ව හැදුවා වගේම නැතිකරලත් දායි. අපි බලාගෙන ඉමුකෝ” යැයි ක‍්‍රිකට් පරිපාලනයේ මීට මාසයකට පමණ පෙරදී ඇති වූ දෙදරා යෑමේ සිද්ධියෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ සමීපතම පුද්ගලයකු පවසා තිබුණි. 

අසංක ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විධායක කමිටුවේදී තිලංග සුමතිපාල මහතා එළඹි තීරණයකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා විරෝධය දැක්වීමත් සමඟ මීට මාස දෙකකට පමණ පෙර අළු යට ගිනි එළියට පැන්නේය.

“මේ ඔක්කොම එයා තනි මතයට කරපුවා. දැන් ඒවායින් අපියි අමාරුවේ වැටිලා තියෙන්නේ. මට නම් දැන් මේක එපාවෙලා තියෙන්නේ. මගේ නම සුද්ද කරගෙන මම යනවා. ආයි නම් ක‍්‍රිකට් බෝඩ් එක දිහාවත් බලන්නෙ නෑ” යැයි ‘කෝප්’ කමිටුවේ සිද්ධියෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසුවේය.

සුමතිපාල මහතා ආසන්නතම සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවට පැමිණ අත්තෝනෝමතිකව කටයුතු කරන බවට අඛණ්ඩව චෝදනා එල්ලවෙමින් තිබුණි. සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජනය කිරීම පිළිබඳව ක‍්‍රීඩා සමාජ කිහිපයකින් ලැබුණු පැමිණි හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය ඒ පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් (අයි.සී.සී.) විමසා තිබූ අතර සුමතිපාල මහතාට අයි.සී.සී. තනතුරැ දැරිය නොහැකි බව අයි.සී.සී. මගින් දැනුම් දුන් බව ක‍්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී පැවසීය. 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ත් මනෝහර් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අවස්ථාවේදී අයි.සී.සී. නීති රීති පිළිබඳව දැනුවත් කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩා නීතියට රෙගුලාසි ගෙන ඒමට ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලාධාරීහු කටයුතු කළහ. ඒ අනුව ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සමීප ඥාතියකු සම්බන්ධ නම් එවැනි පුද්ගලයකුට කිසිදු ක‍්‍රීඩා සංගමයක නිලතල දැරීම තහනම් විය. 

ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මීට මාස දෙකකට පමණ පෙර සුමතිපාල මහතා විධායක කමිටුවට සහභාගි වීම තහනම් කළේය. ඉන්පසුව මේ පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් සඳහා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව සුමතිපාල මහතා සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාර අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව ඉතාමත් ගැඹුරින් විමර්ශනය කළේය. සුමතිපාල මහතාට එරෙහිව නුගේගොඩ ප‍්‍රදේශයේ ක‍්‍රීඩා සමාජයක් සාක්‍ෂි රැසක් ඇතුළත් ලිපිගොනුවක් බාරදී තිබූ අතර එම ලිපිගොනුව මෙම පරීක්‍ෂණයට වඩාත් ප‍්‍රයෝජනවත් වූ බව වාර්තා වේ. 

මෙහිදී සුමතිපාල මහතාගේ මෑණියන්ගේ අන්තිම කැමති පත‍්‍රය පවා කමිටුව මගින් අධ්‍යනය කර තිබේ. මෙම පරීක්‍ෂණයේදී තිලංග සුමතිපාල මහතාගේ වැඩිමහල් සොයුරා ඔට්ටු තැබීමේ ව්‍යාපාරයට සම්බන්ධ බවට කමිටුව නිශ්චිත වශයෙන්ම තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ. සුමතිපාල මහතා ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන සෑම අවස්ථාවකදීම ඔහු ඔට්ටු තැබීමේ ව්‍යාපාරයට සම්බන්ධ බවට විරෝධතා ඉදිරිපත් වුවද බොහෝ අවස්ථාවලදී ඒවා නොසලකා හැර තිබිණි.

නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ගෙනුකර තිබූ පෙත්සමක් හේතුවෙන් සුමතිපාල මහතා ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවුණද ආසන්නතම සභාපති ලෙස විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය. ක‍්‍රිකට් විධායක කමිටුවට බලපෑම් කිරීමට දැන් සුමතිපාල මහතා නොමැත. ඒ හේතුවෙන් දැන් විධායක කමිටුවට බලපෑම්වලින් තොරව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සාමුහික තීරණ ගැනීමේ හැකියාව තිබේ.

 වරකාගොඩ ගමගේ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00