2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ලංකාවේ ක්‍රිකට් කනපිට පෙරලූ දෙවැනි පෙළේ කොල්ලො ටික

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 216

පාකිස්තානයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා අවසන් වූ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා විස්සයි20 පිලේ හැරවුම් ලක්‍ෂයක් යැයි කිවහොත් එහි වරදක් නැත. එය එක්දින පිලට ආදේශ කිරීමට ද කිසිදු බාධාවක් නම් නැත. දසුන් ශානකගේ නායකත්වයෙන් මෙම තරගාවලියට සහභාගි වූ දෙවැනි පෙළ ශ්‍රී ලංකා විස්සයි20 පිල ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින පාකිස්තානය 3x0 කින් පහසුවෙන් පරාජය කිරීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා පිල පසුගිය බදාදා පැවැති තෙවැනි තරගයේදී ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන අවිෂ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය සහ නුවන් ප‍්‍රදීප් ඇතුළු ක‍්‍රීඩකයන් පස්දෙනකු විවේක ගන්වා තරගයට පැමිණියද පාකිස්තානයට පරාජයෙන් ගැලවීමට නොහැකි විය. මෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානය විස්සයි20 තරගාවලියකදී පරාජය වූ පළමු අවස්ථාව බවටද පත්විය.

මෙම තරගාවලිය ආරම්භ වනවිට ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව දෙවැනි තරගයේ ජයග‍්‍රහණයත් සමඟ හත්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පහළ වැටීමෙන් ඕස් ට්‍රේලියාවේදී ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියටද මුහුණදීමට සිදුව තිබෙන ශ්‍රී ලංකාවට මෙම ඵෙතිහාසික ජයග‍්‍රහණය සිසිල් දිය පොදක් වැනිය. එම දිය පොදින් සාගරයක් තරම් ප්‍රයෝජනයක් ගැනීම ක‍්‍රිකට් බලධාරීන්ගේ වගකීමේ තරම මත රඳා පවතී.

භානුක රාජපක්‍ෂ යනු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා වයස 19න් පහළ පිලේ නායකත්වය දැරූ පිතිකරුවන්ගෙන් වඩාත් ජනප‍්‍රියම සහ වඩාත් දක්‍ෂ පිතිකරු යැයි කිවහොත් එහි විවාදයක් නැත. කොළඹ රාජකීය විදුහලෙන් පාසල් ක‍්‍රිකට් පිටියෙන් එළියට එනවිටම ජාතික කණ්ඩායමට එක්වනු ඇතැයි බොහෝ දෙනකු ඉඟි පලකළ භානුක පසුගිය කාලයේ සොයාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියේය. එම තත්ත්වයට භානුක මෙන්ම පසුගිය කාලයේ කටයුතු කළ තේරීම් කමිටුවද හරි හරියට වගකිව යුතුය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වාසනාවට මෙන්ම භානුකගේ සිහිනය සැබෑ කරමින් පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි20 තරගයේදී භානුක පළමුවරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිස්වැස්ම පැළදීමේ අවස්ථාව උදාකර ගත්තේය. ඔහු එම තරගයේදී පන්දු 22කින් ලකුණු 32ක් රැස්කරමින් දෙවැනි තරගයේද ස්ථානය වෙන්කර ගත්තේය. දෙවැනි තරගයේදී 27 හැවිරිදි භානුක රාජපක්‍ෂගේ පිතිහරඹය ශ්‍රී ලංකා ජයග‍්‍රහණයට ප‍්‍රධාන සාධකය බවට පත්විය. භානුක පන්දු 48කින් රැස්කළ ලකුණු 77 කැපී පෙනුණි. එම ඉනිමේදී භානුකගේ නම ඉදිරියෙන් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සටහන් විය. එහිදී භානුක පා ඉන්න දෙසින් පසු පාදය නමා ගැසූ හයේ පහර කිහිපය ඔහු ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල නියෝජනය කළ ගෙවීයන දශකයේ මුල් භාගය සිහියට නැගුණි.

ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංග එක්දින තරගාවලියේ මෙන්ම විස්සයි20 තරගාවලියේ ජයග‍්‍රහණයටද වැඩි දායකත්වය දැක්වූහ. ධනුෂ්ක ගුණතිලක තම වටිනාමක තේරුම් ගැනීම පළමුවෙන්ම කළ යුතුව තිබේ. ‘විනය’ යන වචනය පසුගිය කාලයේ ධනුෂ්කගේ නම ඉදිරියෙන් වැඩි වැඩියෙන් කියවිණි.  
දසුන් ශානකට පසුගිය මාස කීපයක් ආබාධයකට ලක්ව සිටීම නිසා අඛණ්ඩව ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබුණු. දසුන් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටීම නිසා තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස ඔහුට එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල ස්ථිර ස්ථානයක් ලබාදීම එතරම් ප‍්‍රශ්නයක් නොවේ. ඉසුරු උදාන සහ තිසර පෙරේරා වේගපන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටීමෙන් දසුන්ට සෑමවිටම පීඩනයක් තිබේ. එය ඔහුගේ සාර්ථකත්වයට හේතුවක් කර ගැනීම ඔහුගේම වගකීමකි.

පාකිස්තානු සංචාරයට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කළ නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා වැනි ක‍්‍රීඩකයන් කීපදෙනකුටම එළැඹෙන ඕස් ට්‍රේලියානු සංචාරයේදී ස්ථානය මේ වනවිටත් අහිමිවී තිබේ. ධනංජය ද සිල්වාගේ ස්ථානයට පිට දඟපන්දු යවන්නකු වන රමේෂ් මෙන්ඩිස් කැඳවීමට මේ වනවිටත් තේරීම් කමිටුව සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ආබාධයකට ලක්ව පාකිස්තානු සංචාරය අහිමි වූ කුසල් මෙන්ඩිස්ට ද සෙසු ක‍්‍රීඩකයන්ගේ දස්කම් රතු එළියක් බවට පත්ව තිබේ. 

තරැණ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත මෙම විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමට හොඳ වේගයක් පැවතීමෙන් පැහැදිලි වර්ධනයක් දැකගත හැකිවිය. මෙහි එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් බවට මේ වනවිට පත්විය. පාකිස්තානය 2x0 කින් තරගාවලිය ජය ලැබුවද පසුගිය කාලයේ අවස්ථාව ලැබුණු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් කීපදෙනකකුම නැවත දස්කම් අතරට පැමිණීම මෙහිදී කැපී පෙනුණි.

දසුන් ශානක තරග දෙකේදීම පිතිකරුවකු සහ පන්දු යවන්නකු ලෙස දස්කම් දැක්වීම කැපී පෙනුණි. දසුන් දෙවැනි තරගයේදී පන්දු 24 කින් රැස්කළ ලකුණු 43 හේතුවෙන් ලකුණු 297 ක් රැස්කිරීමේ අවස්ථාව උදාවිය. ධනුෂ්ක ගුණතිලක දෙවැනි තරගයේ ආරම්භක පිතිකරු ලෙසින් රැස්කළ ශතකය (133) මෙම තරගාවලියේ හොඳ ප‍්‍රතිඵලයකි. යොවුන් පිතිකරු මිනෝද් භානුකට දෙවැනි තරගයේදී එක්දින වරම් හිමිවිය. එහිදී මිනෝද් පළපුරුදු පිතිකරුවකු මෙන් පන්දු 39කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 36ක් රැස්කිරීම කැපී පෙනුණි. 

දෙවැනි තරගයේදී ළහිරු කුමාර 46 වැනි ඕවරයේදී ලකුණු 18 ක ප‍්‍රහාරයකට ලක්නොවුණේ නම් තරගයේ ප‍්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසියදායක ලෙස වීමටද ඉඩ තිබුණි. ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක දෙවැනි තරගයේදී පිත්තෙන් දැක්වූ වික‍්‍රමය නොවන්නට මෙම තරගාවලිය පුස්සක් බවට පත්වේ. එහිදී ෂෙහාන් සහ දසුන් හයවැනි කඩුල්ලට ලකුණු 177ක සම්බන්ධතාවක් පවත්වමින් වසර 11ක් පැරණි ශ්‍රී ලංකාවේ හයවැනි කඩුල්ලේ වාර්තාව බිඳ දැමූහ. ශ්‍රී ලංකා පිල ලකුණු 28කට කඩුලු 5ක් දැවී සිටියදී මෙම සම්බන්ධතාව ගොඩනැගීම සුවිශේෂී විය. 

අකිල ධනංජයට වසරක තහනමක් පැනවීමත් සමඟ එක්දින පිලට පිට දඟපන්දු යවන්නකුගේ අඩුවක් මේ වනවිට ඇති වී තිබේ. එම පුරප්පාඩුවට කිසිදු සැකයකින් තොරව ෂෙහාන් ආදේශ කළ හැකිය. ෂෙහාන්ට අඛණ්ඩව අවස්ථාව ලබාදුන්න හොත් අකිලගෙන් ලබාගත්තට වඩා සේවයක් ලැබීමේ අවස්ථාව තිබේ. ෂෙහාන් වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරැවකු වීම නිසා තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස කණ්ඩායමේ සමබරතාව රැකගැනීමට හොඳ ක‍්‍රීඩකයෙකි. ෂෙහාන් පන්දු 109 කින් රැස්කළ ලකුණු 96 පාකිස්තානු පිලට දැඩි හිසරදයක් බවට පත්විය. ෂෙහාන්ට නව පන්දුවෙන් පන්දු දඟපන්දු යැවීමේ හැකියාව තිබීම අතිරේක වාසියක් බවට පත්වේ. ෂෙහාන් දෙවැනි තරගයේදී ආරම්භක පන්දු යවන්නා ලෙස ඕවර 10 ලකුණු 48 කට අවසන් කළේය.

දිමුත් කරුණාරත්නට 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට අත්දැකීම් ඇති තරුණ කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇත.  

 යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00