2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

“ක්‍රිකට් ඒඩ්” සුබසාධන කෙරුවාව

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 06:35 77

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ ‘ක‍්‍රිකට් ඒඩ්’ සමාගම ලෙස ක‍්‍රියාත්මක ක‍්‍රිකට් සුබසාධක ආයතනය 2017 වසරේ සිට මෙම වසරේ ජූලි මාසය දක්වා සුබසාධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටියකට එසේත් නැත්නම් ලක්‍ෂ 100 කට අධික මුදලක් වැයකර කර තිබේ. 

‘ක‍්‍රිකට් ඒඩ්’ 2017 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට ව්‍යාපෘති 21ක් සඳහා රුපියල් 10,161,163 ක් වැයකර තිබේ. එහිදී 2017 වසරේ රුපියල් 1,800,141 ක් ද, 2018 වසරේ රුපියල් 2,879,500 ක් ද, 2019 වසරේ ජූලි මාසය දක්වා රුපියල් 5,481,522 ක් ද, ලෙස වැයකර තිබේ. මෙහි පළමු ව්‍යාපෘතිය ලෙස කොළඹ දිස්ත‍්‍රික්කයේ ගංවතුරෙන් ආපදාවට පත්වූ ජනතාවට ආහාර, වතුර සහ ඇඳුම් ලබාදීම වෙනුවෙන් රුපියල් 96,600 ක මුදලක් වැයකර තිබේ. 
එම වසරේ වැඩිම මුදල ලෙස ශ‍්‍රව්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ පැවැති ආසියානු ශ‍්‍රව්‍යාබාධිත ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් ප‍්‍රදානය කර තිබේ. ‘ක‍්‍රිකට් ඒඩ්’ සමාගම 2018 වසරේ ව්‍යාපෘති 7 ක් ක‍්‍රියාත්මක කර ඇති අතර එහිදී මහරගම අපේක්‍ෂා රෝහලට ඉහළ වටිනාකමකින් යුත් ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබේ. හිටපු කනිෂ්ඨ ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකු වන ප‍්‍රමුඛ ද සිල්වාගේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම වෙනුවෙන් ද එම වසරේ ‘ක‍්‍රිකට් ඒඩ්’ රුපියල් ලක්‍ෂ 600,000 ක මුදලක් ලබාදී තිබේ. 

එම වසරේ ‘ක‍්‍රිකට් ඒඩ්’ දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිලට ඉන්දියාවේ පැවැති තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීමට සහ ශ‍්‍රව්‍යාබාධිත ක‍්‍රිකට් පිලට ඉන්දියාවේදී පැවැති පළමු ශ‍්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීමට රුපියල් ලක්‍ෂ 5 බැගින් ලක්‍ෂ 10ක් ද ලබාදී තිබේ. ‘ක‍්‍රිකට් ඒඩ්’ 2019 වසරේ ජනවාරි මස දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිලට පාකිස්තානු ක‍්‍රිකට් සංචාරයකට සහභාගි වීම සඳහා රුපියල් 1,750,000 මුදලක් ප‍්‍රදානය කර තිබේ

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ දක්‍ෂ ක‍්‍රීඩකයෙක් වූ අක්ෂු ප‍්‍රනාන්දු දුම්රිය අනතුරකට පත්වීමෙන් පසුව ඔහුගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ‘ක‍්‍රිකට් ඒඩ්’ රුපියල් මිලියනක මුදලක් ලබාදී තිබේ. ‘ක‍්‍රිකට් ඒඩ්’ වෙත 2016 වසරේ සිට රුපියල් කෝටි 3.4 ක අධික මුදලක් පරිත්‍යාග ලෙස ලැබී තිබේ. පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා වනවිට 34,385,229.30 ක මුදලක් පරිත්‍යාග ලෙස ලැබී තිබුණි.

‘ක‍්‍රිකට් ඒඩ්’ එංගලන්තයේ පැවැත්වූ අරමුදල් රැස්කිරීමේ කිරීමේ වැඩසටහනින් 4,701095 ක මුදලක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. මෙම කෝටි 3.4 ට ඩයලොග් සමාගමෙන් ලැබුණු රුපියල් කෝටි 1.4 ට විශේෂ ස්ථානයක් හිමිවේ. ඊට අමතරව 2017 වසරේ සිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් මෙම සමාගමට කෝටි 1.5 ක මුදලක් බැර කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා 2017 වසරේ 684,134.25 ක මුදලක් ‘ක‍්‍රිකට් ඒඩ්’ වෙත පරිත්‍යාග කළ බව සඳහන් වේ. මෙම වසර හතර තුළ ‘ක‍්‍රිකට් ඒඩ්’හි පරිපාලන වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 60 කට ආසන්න මුදලක් (රු. 5,967,917.61) වැය කර තිබේ. එයට 2017 වසරේ සිට 2019 වසර දක්වා චේතන ලෙස ගෙවූ රුපියල් ලක්‍ෂ 46 කට (රු. 4,689,469” අධික මුදක ද ඇතුළත් වේ. 

මෙම වසර හතර තුළ වෙනත් වියදම් ලෙස රුපියල් කෝටි 1.6 කට අධික  මුදලක් (රු. 16,318,641.03) මුදලක් වැයකර තිබේ. එයට එංගලන්තයේ 2016 වසරේ පැවැත්වූ අරමුදල් රැස්කිරීමේ වැඩසටහන වෙනුවෙන් වැය කළ රුපියල් කෝටි 1.4 කට අධික මුදල (රු. 14,832,506.03) මුදල ඇතුළත් වේ. ආපදාවට පත්වූ පිරිසකට ලබාදීමට විදේශයකින් ලැබුණේ යැයි කියන සහල් සහ නූඩ්ල්ස් වරායෙන් නිදහස්කරගැනීමට රේගු ගාස්තු ලෙස රුපියල් 1,285,885 ක මුදලක් ‘ක‍්‍රිකට් ඒඩ්’ ගිණුමෙන් ගෙවා තිබේ.

I සටහන: යොහාන් භාසුර