2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ගඟට ඉනි කපන මලල ක්‍රීඩා සංගමය

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 122

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයට විදේශ සංචාර සඳහා රුපියල් ලක්‍ෂ 123 කට (රුපියල් 12,355,588.10) අධික මුදල් මෙම වසර තුළ ලබාදී ඇති බව ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පසුගියදා පවසා තිබුණි. මෙම වසර අවසන් වනවිට මෙම මුදල රුපියල් ලක්‍ෂ 200 ඉක්මවීම වැළැක්විය නොහැක. මෙම දැවැන්ත මුදලට දශමයක හෝ වටිනාමක් ගතවූ මාස නවය තුළදී ලැබුණේදැයි සැකසහිතය.  

නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැතිවෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට (සාග්) සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 605 කින් සමන්විත දැවැන්ත කණ්ඩායමට මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 36 දෙනා බැගින් 72 ක් සහභාගී වීමට නියමිතය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අමතරව මලල ක‍්‍රීඩා පුහුණුකරුවන් 48 ක් ද සාග් ක‍්‍රීඩා උලෙලට සහභාගි වීමට නියමිතය. ඒ අනුව මලල ක‍්‍රීඩාව වෙනුවෙන් පුද්ගලයන් 120 කට අධික සංඛ්‍යාවක් සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩාව වැටී ඇති තත්ත්වය අනුව මෙවැනි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සංඛ්‍යාවක් සහභාගි කරවීම ඇත්ත වශයෙන්ම මුදල් නාස්තියකි. සාග් ක‍්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් හිමිව ඇත්තේ මලල ක‍්‍රීඩාවෙනි. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස්ව ඇති අතර රන් පදක්කම් දිනාගැනීමට ඇති හැකියාව අවම වී තිබේ. 

පදක්කම් දිනාගැනීමට හැකියාව වැඩි ඉසව් තෝරාගෙන අවම සංඛ්‍යාවක් සහභාගි කරවා ඉතිරි මුදල මලල ක‍්‍රීඩාවේ අනාගතය සඳහා ඵලදායි ව්‍යාපෘතියක් වෙනුවෙන් යෙදවූයේ නම් මීට වඩා ප‍්‍රතිඵලදායකය.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩාවේ වඩා වැටීමට පසුගිය සතියේ කදිම නිදසුනක් එකතු විය. දෝහා කටාර්හිදී පැවැති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේ එකම ශ්‍රී ලාංකික නියෝජනය වූ මැරතන් ක‍්‍රීඩිකා හිරුණි කේසරා විජේරත්න තරගය අවසන් කිරීමට අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩාවේ කඩා වැටීම යළිත් වරක් ප‍්‍රදර්ශනය විය. හිරුණි මැරතන් තරගයක අඩකට සමාන එනම් කිලෝමීටර 21ක් පමණ ධාවනය කර අතරමඟදී තරගයෙන් ඉවත්වූවාය. 

මෙම වසර මුලදී මෙට්රෝ ගෲෆ් මැරතන් තරගය පැය 2 විනාඩි 34 තත්පර 10 කින් අවසන් කරමින් දෙවැනි ස්ථානය ලැබූ කේෂානි ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් වූවාය. සුදුසුකම් ලැබූ එම ක‍්‍රීඩිකාවද තරගය අවසන් කිරීමට අපොහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩාව බිංදුවේ සිට ආරම්භ කළ යුතු තත්ත්වයකට වැටී ඇති බව පැහැදිලිය. 

ඇමෙරිකාවේ පදිංචිව සිටින ද්විත්ව පුරවැසිභාව හිමි හිරුණිට සහ ඇයගේ පෞද්ගලික පුහුණුකරු යැයි කියන ඇගේ සැමියාට ඇමරිකාවේ සිට කටාර්වලට පැමිණීම සඳහා ගුවන් ප‍්‍රවේශපත් වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්‍ෂ 3 කට අධික මුදලක් ලබාදී තිබුණි. තවද ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සංගමය විසින් ඇයට ඩොලර් 450 ක (රුපියල් 80,000 ක් පමණ) දීමනාවක් ද ලබාදීමට නියමිතව තිබුණි. මෙවැනි තත්ත්වයක් යටතේ එම තරගාවලියේදී හිරුණිගේ කළමනාකරු සහ පුහුණුකරු ලෙස නිලධාරීයකු සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලා තිබුණි. 

එම මුදල ලබාදීම ක‍්‍රීඩා අමාත්‍යංශය ප‍්‍රතික්ෂේප කළ අතර ඒ පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් ඔස්සේ මෙසේ පැහැදිලි කර තිබුණි. “මෙම ක‍්‍රීඩිකාව දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුවීම් කටයුතු සිදු කරන බැවින් ඇයගේ පුහුණුකරු ලෙස මෙම පුද්ගලයා සහභාගි වීම ගැටලුසහගතය.” පරිපාලකයන් ඉතිහාසය පුරාම සංචාර පිපාසයෙන් පෙළීම දැකගත හැකි වූ අතර එහි වෙනසක් වන බවක් පේන තෙක් මානයේ නැත. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න යන ක‍්‍රීඩිකාවන්ගෙන් පසුව කැපී පෙනෙන දස්කම් දැක්වීමට ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් බිහිනොවීමට මෙම පාලකයන් වගකිව යුතුය. 

වරකාගොඩ ගමගේ