2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

වෝහාරික විගණනයේ හෙළිදරව්ව

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශනය, ගුවන් විදුලි ප‍්‍රචාරය, ජංගම (රැහැන් රහිත), අන්තර්ජාල විකාශනය සහ අනුග‍්‍රාහකත්ව ආදී අයිතීන් අලෙවි කිරීමට අදාළ ආදායම් එකතු කිරීම හා ඊට අදාළ අනෙකුත් අනුශාංගික කරුණු පරීක්‍ෂා කළ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අක‍්‍රමිකතා රැසක් අනාවරණය කරගත් බව වෝහාරික විගණන වාර්තාවේ තුන්වැනි පරිච්ජේදයේ නිරීක්‍ෂණ හෙළිකර තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබුණු මුදල් අස්ථාගත වීම, ඉහළ ලංසුව නොසළකා හැර පහළ ලංසුවට විකිණීම, ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසුව මිල වෙනස් කිරීම සහ ඇතැම් ආයතනවලට වාසිදායක වන අයුරින් කටයුතු කිරීම වැනි බරපතළ අක‍්‍රමිකතා වොහාරික විගණන වාර්තාවේ නිරීක්‍ෂණවල සඳහන්ව තිබේ.

“ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2018 දෙසැම්බර් 31 අවසන් වර්ෂයේ මූල්‍ය ප‍්‍රකාශනවල ගිණුම් සටහන් අංක 15 යටතේ ලැබිය යුතු අනුග‍්‍රහක මුදල් ලෙස රු.144,973,397ක් දක්වා තිබුණි. තවද ගිණුම් සටහන් අංක 15.1 යටතේ 2018 වර්ෂයේ පැවැති දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ජාත්‍යන්තර රූපවාහිනී, රේඩියෝ, මොබයිල්, අන්තර්ජාල අනුග‍්‍රාහක අයිතිය විකිණීමට අදාළ අනුග‍්‍රාහකත්ව ආදායමෙන් 15%ක මුදල් වටිනාකම වන ඇමරිකානු ඩොලර් 187,084.75ක් ලැබීමද ඇතුළත් බව දක්වා ඇත. එය වාර්තා කරන දිනට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවත් සැපයුම්කරු එම ගෙවීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවා ඇති බවත් දක්වා ඇත. එම නිසා මේ සම්බන්ධයෙන් විහේෂ පරීක්‍ෂාවක් කළ යුතු බවට මා විසින් තීරණය කරන ලදී.”

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප‍්‍රධානියකු දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් ලැබිය යුතු ඉහත දැවැන්ත මුදල විදේශ බැංකුවක වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතී. 

“ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය පැවරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ගිවිසුම් ගණනාවකට එළඹ තිබුණි. ඉන් 2003 සිට එළඹි ගිවිසුම්වලට අදාළ සාරංශ වාර්තාවක් මෙම පරිච්ජේදයේ 6.2 ඡේදයේ දැක්වේ. එම ගිවිසුම් අතරින් 2013 x 2020 දක්වා වූ විකාශන අයිතිය පැවරීමේ ගිවිසුම සම්බන්ධව පහත කරුණු නිරීක්‍ෂණය විය.”

වෝහාරික විගණන වාර්තාවෙන් 2013 වසරේ රූපවාහිනී අයිතිය පිළිබඳව සාකච්ඡා වීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එම කාලයේ ක‍්‍රිකට් පාලනයේ සිටි නිලධාරීන්ද කෝප් කමිටුවට කැඳවන ලෙස පසුගියදා කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඉහළ ලංසුව නොසළකා හරිමින් පහළ ලංසුවට රූපවාහිනී අයිතිය විකිණීමෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට වූ දැවැන්ත මූල්‍යමය පාඩුවකට ඉහත නිරීක්‍ෂණය කදිම නිදසුනකි. 

“Nimbus Communication Ltd විසින් ඉහළම ලංසුව වූ US $ 53,115,411 ක් ද අවම ලංසුව වූ US $ 34,873,000 ක් Taj TV විසින්ද ඉදිරිපත් කර තිබුණි. කෙසේ වුවද අවම ලංසුව ඉදිරිපත් කළ Taj TV වෙත ටෙන්ඩරය පිරිනැමීම හේතුවෙන් US $ 18,242,411 ක මූල්‍ය අවාසියක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත සිදුවී ඇති බව නිරික්‍ෂණය වේ” මෙම නිරීක්‍ෂණය අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ටෙන්ඩර් පටිපාටිය අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. 

“පිළිගත් සම්මතයන්ට අනුව ලංසු ඉදිරිපත් කළ පසුව යම් යම් ප‍්‍රමාණික නොවන සංශෝධනවලට ඉඩ තිබුණද වටිනාකම වෙනස් කිරීම සඳහා ලංසු විවෘත කිරීමෙන් පසුව අවස්ථාවක් හිමි නොවේ. එකී සම්මතයන්ට පටහැනිව මුල අවස්ථාවේදී ලද ලංසු වටිනාකම පමණක් අගයීම් නොකර පසුව ලැබූ ලංසු වටිනාකම් ඇගයීම සඳහා තාක්ෂණික කමිටුව (TEC) කටයුතු කර තිබීම බරපතළ විෂමාචාර තත්ත්වයක් වන බව නිරීක්‍ෂණය වේ.

තවද මුල් අවස්ථාවේදී ඉහළ ලංසුව US $ 52,506,000 ඉදිරිපත් කළ “Nimbus Communication Ltd විසින් පසුව වටිනාකම වෙනස් කර US $ 40,615,178 ක අඩු වටිනාකමක් යෝජනා කර තිබුණ ද එම අවස්ථාවේදී ද ඉහළම ලංසුව වටිනාකම එම වටිනාකම විය. එසේ වුවද එම ලංසු වටිනාකම Taj TV වෙතින් ලබාගැනීමට සාකච්ඡා කිරීම සඳහා නිර්දේශ කර තිබීම බලය ඉක්මවා කටයුතු කිරීමක් වන අතරම Taj TV වෙත අයුතු සහගත වාසි සලසාදීමක් වන බවට ඇතිවන සැකය බැහැර කළ නොහැකිය.” 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ මෙවැනි තත්ත්වයක් තිබියදී ක‍්‍රිකට් ක‍්‍රීඩාව ශ්‍රේණිගත කිරීමේ පහළ ස්ථානයේ හෝ රුඳී තිබීම පිළිබඳව අප සතුටු වියයුතු නොවේද?

I සටහන: යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00