2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

කෝප් කමිටුවේ හිර වූ “ක්‍රිකට් ඒඩ්”

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

වකුගඩු රෝගීන් වෙනුවෙන් බව කියමින් විවිධ පුද්ගලයන් සහ ඇතැම් සංවිධාන මුදල් ගැරීමේ කූට ව්‍යාපාරවල නිරත වන බව ප‍්‍රසිද්ධ රහසකි. එය ආධාර ටිකට් පත් අලෙවිය, පුවත්පත්, රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ජාලවල දැන්වීම් පළ කිරීම වැනි විවිධ ආකාරයෙන් ගජරාමෙට ක‍්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම සහ ධනවත්ම ක‍්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ‘වකුකඩු රෝගීන්’ ඉදිරියට දමමින් මුදල් එකතු කර ඇති බවට මේ වනවිට හෙළි වී තිබේ. 
ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද වෝහාරික විගණනයේදී ද ‘ක‍්‍රිකට් ඒඩ්’ ලෙස හඳුන්වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රියාත්මක කරන ආධාර වැඩසටහන වකුගඩු රෝගීන් යොදාගෙන මුදල් රැස්කර ඇති බව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වකුගඩු රෝගයෙන් පෙළෙන උතුරැ මැද පළාතේ දරුවන් සහ වැඩිහිටියන් මෙන්ම ඔවුන්ට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරැන් යොදාගෙන විනාඩි 30ක පමණ වීඩියෝ පටයක්ද නිර්මාණය කර ප‍්‍රදර්ශනය කළේය.

වෝහාරික විගණන වාර්තාවේ ‘ක‍්‍රිකට් ඒඩ්’ සම්බන්ධයෙන් මෙසේ සඳහන්ව තිබේ.

‘‘තවද Cricket Aid – Charity Event at Lords Lounge Room යන මැයෙන් අනුමත කරන ලද උක්ත විධායක කමිටු තීරණය ප‍්‍රකාරව ශ්‍රී ලංකාවේ නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ආධාර කිරීම ප‍්‍රධාන අරමුණ ලෙස දක්වමින් ක‍්‍රිකට් ආධාර අරමුදල පිහිටුවන බව දන්වා තිබුණද 2018 දෙසැම්බර් 31 දින වනවිට අරමුදල ස්ථාපිත කර වසර දෙකහමාරක් ගතවුවද වකුගඩු රෝගීන් සඳහා කිසිදු ආධාර මුදලක් පිරිනමා නොතිබුණි.

සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය ප‍්‍රකාරව සමාගම පිහිටුවීමේ අරමුණු 13ක් මෙම පරිච්ඡේදයේ 6.5 යටතේ තිබුණද එකී සමාගම පිහිටුවීමේ මූලික අරමුණ ලෙස සමාජගත කළ ‘වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිලාභ ලබාදීම’ සමාගමේ අරමුණක් ලෙස අන්තර්ගත වී නොතිබුණි. ‘ක‍්‍රිකට් ඒඩ්’ වකුගඩු රෝගීන්ගේ නම විකුණා මුදල් රැස්කර කොළඹ දිස්ත‍්‍රික්කයේ ගංවතුරෙන් අපදාවට පත්වූ අයට ආධාර ලබාදීම වැනි කටයුතු කර ඇති බව නම් පැහැදිලිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් එම ආයතනයේ ව්‍යවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය රෙගුලාසි ද උල්ලංඝණය කරමින් ‘ක‍්‍රිකට් ඒඩ්’ ක‍්‍රියාත්මක කර ඇති බව විගණනයේදී හෙළි වී තිබේ.  

“මෙම පරිච්ඡේදයේ අංක 6.1 ඡේදයේ දැක්වෙන විධායක කමිටු තීරණ අනුව පුණ්‍යාධාර කටයුතු සඳහා ක‍්‍රිකට් ආධාර වැඩපිළිවෙළ අනුමත කර තිබුණු අතර ආධාර ක‍්‍රියාවලිය සඳහා ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවීමට අනුමත කර නොතිබුණි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති, විධායක කමිටු සාමාජිකයන් අටදෙනකු සහ ප‍්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්‍ෂ මණ්ඩලය වශයෙන් පත්වෙමින් 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ අංක ජී.එල්. 2374 හා ක‍්‍රිකට් ඒඩ් (ගරන්ටි) ලිමිටඩ් නමින් ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් 2016 මැයි 23 දින ලියාපදිංචි කර තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන්ගේ හා ප‍්‍රධාන මූල්‍ය නිලධාරීගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකු-වේ විනිමය පාලක අමතන ලද 2016 මැයි දිනැති ලිපිය මගින් ලංකා බැංකුවේ ටොරින්ටන් ශාඛාවේ Cricket Aid Guarantee Ltd නමින් ඇමරිකානු ඩොලර් ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීමට අනුමැතිය ඉල්ලා තිබුණි. විනිමය පාලකගේ අංක 06/04/006/0062/001 හා 2016 ජූනි 20 දිනැති ලිපිය මගින් විදේශ මුදල් ගිණුමක් ආරම්භ කිරීමට අවසර ලබාදිය නොහැකි බව තහවුරු කර තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් 2016 මැයි මස 26 දින ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පොදු ගිණුමෙන් රු.2,000,000ක මුදලක් භාවිතා කර උක්ත සමාගම නමින් ලංකා බැංකුව ටොරින්ටන් ශාඛාවේ අංක 00792383811 දරණ ගිණුම විවෘත කර තිබූ අතර 2016 මැයි 31 වන දින එකී ගිණුමෙන් රු.1,985,000ක මුදලක් නැවත ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පොදු ගිණුමට මාරුකර තිබුණි.” විගණනයේදී හෙළි වී ඇති තොරතුරු අනුව ‘ක‍්‍රිකට් ඒඩ්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ‘සුදු අලියකු’ බවට පත්ව තිබේ.

“2016 වර්ෂයේ ක‍්‍රිකට් ආධාර වැඩපිළිවෙල දියත් කිරීම සඳහා පවත්වන ලද අරමුදල් උත්පාදන ක‍්‍රිකට් තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක‍්‍රීඩා පිටියෙන් ආරම්භ කිරීමට දරන ලද වියදම් රු.14,832,506ක් වූ අතර ඉන් උත්පාදනය කිරීමට හැකි වූ අරමුදල් ප‍්‍රමාණය ලෙස 6.13 ඡේදයෙහි රු.13,028,000ක් ලෙස දක්වා තිබුණත් සත්‍ය වශයෙන් උපයා තිබුණේ රු.4,701,095 ක් පමණි. එසේ වුවද එකී අරමුදල් රැස්කළ ආකාරය සහ කුමන පාර්ශ්වයන්ද යන්න සහ රැස්කළ සියලුම මුදල් සමාගම වෙත නිවැරදිව හා විධිමත්ව ලැබුණේද යන්න විගණනයේදී තහවුරු නොවුණි.

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේදී උක්ත සමාගමේ ආදායම රු.4,701,095ක් ද, වියදම රු.15,016,793ක් ද වීම හේතුවෙන් ආදායම ඉක්මවූ වියදම රු.10,315,697ක් විය. සමාගම විසින් 2017 දෙසැම්බර් 31 දිනට ඉදිරිපත් කරන ලද ගිණුම් අනුව 2017 වර්ෂය තුළදී අවස්ථා 9 කදී ලද ආධාර මුදල් ප‍්‍රමාණය රු.17,184,134ක් වූ අතර අවස්ථා 8 කදී වියදම් කළ මුදල රු.2,636,911ක් විය. සමාගම ආරම්භක අවස්ථාවේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා පුණ්‍යාධාර කටයුතු සඳහා දරා ඇති මුළු වියදම රු.2,478,260 කි. එසේ වුවද සමාගම කළමණාකරුගේ වැටුප සඳහා පමණක් පසුගිය වසර 2ක සඳහා මුළු වියදම රු.3,998,693 ක් පමණ වී තිබුණි.”

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ‘ක‍්‍රිකට් ඒඩ්’ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී ක‍්‍රිකට් නිලධාරීන් ලබාදුන් පිළිතුරු පිළිබඳව කෝප් සාමාජිකයෝ නොසතුට පළ කළහ. ඒ අනුව ක‍්‍රිකට් ඒඩ් ‘ක‍්‍රිකට් ආධාර’ ගිණුම් පරීක්‍ෂාකර විගණනයක් සිදුකරන තෙක් එහි කටයුතු අත්හිටුවන ලෙස කෝප් කමිටුව ක‍්‍රිකට් ආයතන නිලධාරීන්ට නියෝග කළේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව අනුව ක‍්‍රිකට් ඒඩ්හි විගණන කටයුතු කිරීමේ බලයක් විගණකාධිපතිවරයාට නොමැති අතර එම බලය ලැබෙන අයුරින් ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස කෝප් කමිටුව විසින් 2016 වසරේ ජූනි 20 වන දින ක‍්‍රිකට් ආයතනයට ලබාදී ඇති නිර්දේශද මෙතෙක් ක‍්‍රියාත්මක කර නොමැති බව මෙහිදී සඳහන් විය.

එම ආයතනයේ විගණනයක් සිදුකර මාස දෙකක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විගණකාධිපතිවරයාට  දැනුම් දුන්නේය.

I සටහන: යොහාන් භාසුර