2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

විස්සයි 20ට මැතිව්ස්ට එන කැපිල්ල

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 179

ඕස්ට්‍රේලියාවේදී ලබන වසරේ (2020) සැප්තැම්බර් මස ආරම්භ වන විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශක්තිමත් කණ්ඩායමක් සකස් කිරීමට පාරම්බාමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ශ්‍රී ලංකාව සතුව වර්තමානයේ සිටින ප්‍රබලතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන නවසීලන්ත විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කර තිබේ. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව තවත් විස්සයි 20 තරග 20 කටත් අඩු සංඛ්‍යාවකට සහභාගි වීමට නියමිතය. එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පිතිකරුවා ඉවත්කිරීම ශ්‍රී ලංකාවේ ශක්තිය හීන කිරීමකි.

ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීමේදී මෙවැනි දේ පිළිබඳව දැඩි අවදානය යොමු කර තේරීම් කමිටුවෙන් ප්‍රශ්න කළ යුතුය. එසේ නොවුණ හොත් ක්‍රීඩා අමාත්‍ය ධූරය ද ‘බෝඩ් ලෑල්ලක්’ බවට පත්වනු ඇත. 
“එයා විකට් එකේ දුවනවා ටිකක් මදි වගේ. එයාට ලකුණු එන්න දැන් ටිකක් වෙලා යනවා” යැයි තේරීම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබේ. 

මැතිව්ස්, එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ සිට දැන් පැවැත්වෙන නවසීලන්ත සංචාරයේ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගය දක්වා ක්‍රීඩා කළ ආකාරය පියවි ඇසින් දුටුවේ නම් කිසිවකු ඉහත වැනි ප්‍රකාශ නොකරනු ඇත. ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව තරගයේ සිට ගාල්ල ටෙස්ට් තරගය දක්වා මැතිව්ස් ක්‍රීඩා කළේ කණ්ඩායම වෙනුවෙනි. ශ්‍රී ලංකාව වාර්තාගත ජයක් ලැබූ එංගලන්ත තරගයේදී මැතිව්ස් කඩුල්ල විසිකළේ නම් පරාජය ලබනවාට සැකයක් නැත. ඇන්ජලෝ මැතිව්ස් ගාල්ලේදී ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී විනාඩි 136 ක් කඩුල්ලේ රුඳෙමින් ලකුණු 50 ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී විනාඩි 115 ක් කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 28 ක්ද ලබාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා විය.

ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉනිමක සම්පූර්ණ කාලය මිනිත්තු 85 ක් වන විස්සයි20 තරගාවලියෙන් මැතිව්ස් ඉවත් කිරීම කැකිල්ලේ තීන්දුවකි.

එක්දින සහ ටෙස්ට් තරගවල වෙනස සහ ඊටත් හාත්පසින්ම වෙනස් විස්සයි 20 ක්‍රිකට්වල වෙනස හඳුනාගැනීමට නොහැකි තේරීම් කමිටුවක් තවදුරටත් තබාගැනීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි හානියකි.

මැතිව්ස් ලෝක කුසලානයේදී සහ බංගලාදේශයට එරෙහිව එක්දින තරගාවලියේදී පන්දුවට පහර දුන්නේ, කඩුලු අතර දිව ගියේ එක්දින තරගයකට ගැලපෙන ලෙසය. ඔහු ගාල්ල ටෙස්ට් තරගයේදී පන්දුවට පහර දුන්නේත් කඩුලු අතර දිවගියේත් ටෙස්ට් තරගයකට ගැලපෙන ලෙසය. ශ්‍රී ලංකා සියලුම කණ්ඩායම් වසර හයක් පමණ මෙහෙයවූ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 81 කට, එක්දින තරග 214 කට සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 72කට ක්‍රීඩා කර තිබේ. මැතිව්ස් විස්සයි 20 තරග 72 දී අර්ධ ශතක පහක් සමගින් ලකුණු 1055 ක් රැස්කර තිබේ.

ලෝක විස්සයි 20 ක්‍රිකට් පිටියේ වඩාත් තරගකාරීම තරගාවලිය වන අයි.පී.එල්. තරගාවලියේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයකුව සිටි මැතිව්ස් විස්සයි 20 තරග 153 කට ක්‍රීඩා කර වඩාත් අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකි.

වර්තමාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා 80 දශකයේ ටෙස්ට් තරග 17 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 57 කට පමණක් සහභාගි වූවෙකි. ඔහු ක්‍රීඩා කළ කාලයේ ක්‍රිකට් සහ වර්තමාන ක්‍රිකට් අතර අහසට පොළව වැනි වෙනසක් මෙන්ම දියුණුවක් තිබේ.

වර්තමාන තේරීම් කමිටුව සාමාජිකයන් තිදෙනකුගෙන් පමණක් සමන්විත වීම නිසා අසන්ත ද මෙල්ට තේරීම් කමිටුව පාලනය කිරීම පහසු වී ඇති අතර ඔවුන් වෙනත් කණ්ඩායම්වල කළමනාකරැවන් ලෙස ද පත්කර ඇති නිසා ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ගැන අවධානය යොමු කිරීමට කාලයක් නොමැති අතර ඔවුන් අසන්තගේ එහෙයින් බවට පත්ව ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

එවැනි තේරීම් කමිටුවකින් ඇන්ජලෝ මැතිව්ස් වැනි ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයකුගේ අනාගත තීරණය කිරීම සාධාරණ නොවේ. මේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තුළ අසන්ත ද මෙල් පිළිබඳව ඇති දැඩි ඇල්ම පසක තබා තේරීම් කමිටුව පිළිබඳව තීරණයක් ගත යුතුය.

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට නොලැබෙන තත්ත්වයක් ද මේ වනවිට නිර්මාණය කර තිබේ. නිරෝෂන් දික්වැල්ල හෝ කුසල් පෙරේරා නායකත්වයට පත්කිරීමට තේරීම් කමිටුව සූදානම් වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා මාලිංග බව අමුතුවෙන් කිවයුතු නැත. කිසියම් ක්‍රීඩකයකුට ඔහු සමඟ ක්‍රීඩා කළ නොහැකි නම් ක්‍රීඩකයා ඉවත් කළ යුතුය. එසේ නොමැතිව කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් නොමැති ක්‍රීඩකයන්ට නායකත්වය පැවරීම මහ විනාශයක් වනු ඇත.

- යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00