2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ බර සැහැල්ලු කළ බංග්ලාදේශ තරග මාලාව

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 145

බංග්ලාදේශ පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පසුගිය බදාදා අවසන් වූ තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3x0 කින් ජය ලැබීමට වසර තුනකට අධික කාලයක් පැවැති නියඟකින් පසුව ලැබුණු වර්ෂාව බඳු විය. මෙය ශ‍්‍රී ලංකා පිල වසර තුනයි මාස නවයකට ආසන්න කාලයකට පසුව ශ‍්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය වේ. ශ‍්‍රී ලංකාවේදී අවසන් එක්දින තරගාවලි ජයග‍්‍රහණය 2015 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබා සිටියේය. එම කාලය තුළ ශ‍්‍රී ලංකාවේ එක්දින තරගාවලි හයක් පැවැති අතර ඉන් තරගාවලි පහක් පරාජය වූ අතර සිම්බාබ්වේ හමුවේ පළමුවරට ලැබූ පරාජයද එයට ඇතුළත් වේ. බංග්ලාදේශයට එරෙහිව මීට පෙර තරගාවලිය පමණක් සමව අවසන් කර තිබුණි.

ලෝක කුසලාන තරගාවලියේදී එළියෙන් තැබූ පිට දඟපන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය දෙවැනි තරගයට කැඳවා තිබූ අතර ඔහු එහිදී තේරීම් කමිටුවට කණේ පහරක් දෙමින් සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය. පන්දු යැවීමේ ඉරියව් සකස් කරගැනීමෙන් පසුව අකිල සුපුරැදු දස්කම් අතර නැති බව තේරීම් කමිටු සභාපති අසන්ත මෙල් පැවසූ පරිදි අකිලගේ පන්දු යැවීමේ එවැනි වෙනසක් දැකගත නොහැකි විය. 

යොවුන් වේගපන්දු යවන ක‍්‍රීඩක ළහිරැ කුමාර ඉතාමත් හොඳ වේගයක් පවත්වමින් පන්දු යැවූ ආකාරය දැකගත හැකිවිය. ලසිත් මාලිංග එක්දින තරගවලින් ඉවත් වීමෙන් ඇති වූ හිඩැස අවම කරගැනීමට ළහිරැ කුමාර හොඳ ආදේශකයක් කරගැනීමේ වගකීම් ක‍්‍රිකට් බලධාරීන් සතුය. ළහිරු වැනි පන්දු යවන්නන් ඉතාමත් පරිස්සමට කළමනාකරණය කළ යුතුය. 22 හැවිරිදි ළහිරු ආරම්භයේදීම ආබාධයන්ට ලක්වීමෙන් වැඩි කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවිය. 

ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ සිටීම තරුණ ක‍්‍රීඩකයන්ට වඩාත් ප‍්‍රයෝජනවත් වී තිබේ. දෙවැනි සහ තෙවැනි තරගයේදී මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ දිගු වෘත්තිය මට්ටමේ සම්බන්ධතාව කැපී පෙනුණි. මැතිව්ස් එම සම්බන්ධතාව ගොඩනැගීමේදී මනාව කුසල් මෙන්ඩිස් හැසිරවීය. ඉලක්කය විශාල නොවීමත්,  ඕනෑවටත් වඩා  ඕවර ඉතිරිව තිබීම නිසා එහිදී කුසල් කළයුතු හොඳ දේ මනාව ඉටු කළේය. මැතිව්ස් සතුව ඇති අත්දැකීම් ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලැයිස්තුවට අතිරේක ශක්තියක් එන්නත් කරයි. ලෝක කුසලාන තරගාවලියේ අග භාගයේ සිට මැතිව්ස් සිය අත්දැකීම් ප‍්‍රදර්ශනය කළේය. 

කුසල් මෙන්ඩිස් පසුගිය කාලය පුරාම අසාර්ථක වුවද ඔහුට අඛණ්ඩව අවස්ථාව ලැබුණි. කුසල් එම ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගතහොත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට වඩාත් වටින්නේය. අවිෂ්ක ප‍්‍රනාන්දු දෙවැනි තරගයේදී ක‍්‍රියාත්මක කළ වේගවත් ඉනිම බොහෝ දෙනකුගේ අවදානයට ලක්විය.

තෙවැනි තරගයේදී අවස්ථාව ලැබූ දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, කසුන් රාජිත සහ වනිඳු හසරංග දස්කම් දැක්වීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට සුබ පෙර නිමිත්තක් බව නායක දිමුත් කරුණාරත්න පැවසීය. 

වේගපන්දු යවන තුන් ඉරියව් රොත්තට දසුන් ශානකද එකතු විය. වේගපන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයාගේ ස්ථානයට මේ වනවිට ඉසුරු උදාන, තිසර පෙරේරා සහ දසුන් ශානක තරගයක් නිර්මාණ වී තිබේ. ඉසුරු ඕවර 10 යවන තත්ත්වයට පත්ව සිටීම නිසා ඔහු තුන් ඉරියව් භූමිකාවෙන් ඉවත්කිරීමේ හැකියාවද තිබේ. තිසර පෙරේරා දස්කම් අතර නොමැති බව පැහැදිලිය. ඒ හේතුවෙන් දසුන්ට එම ස්ථානයේ ස්ථාවර වීමට අවස්ථාව ලබාදීම වඩාත් කාලෝචිත වේ.

ළහිරු තිරිමාන්න තවදුරටත් අංක හය ස්ථානයේ ක‍්‍රීඩා කරනවාද යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතුය. තේරීම් කමිටුව හිතාමතාම අවස්ථාව අහිමිකර තිබෙන දිනේෂ් චන්දිමාල් මෙම කණ්ඩායමට මුසුවූයේ නම් තවදුරටත් අත්දැකීම් වැඩි කරගත හැකිය.   

 යොහාන් භාසුර