2019 ජුලි 27 වන සෙනසුරාදා

විසඳුමක් නොපෙනෙන කණ්ඩායම තේරීම

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 196

බංග්ලාදේශ ශ්‍රී ලංකා සංචාරය -

“ලෝක කුසලාන තරගාවලියේ අතිරේක ක‍්‍රීඩකයන් ලෙස ඇතුළත්ව සිටි එම ක‍්‍රීඩකයන් දෙදෙනා සූදානම් කළේ එංගලන්ත තණතීරුවලටයි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවෙයි. ඒ නිසයි ඒ දෙපළට ස්ථාන අහිමිවුණේ” යැයි ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන්  ඕෂධ ප‍්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා ඉවත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසීය.

මෙම තරගාවලිය වෙනුවෙන් නම්කළ ක‍්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයෙන් එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායම සමඟ මාස දෙකකට අධික කාලයක් ගත කළ ඕෂධ සහ ඇන්ජලෝ කපා තිබුණි. ශ්‍රී ලංකාවේ තණතීරුවල දේශීය තරගාවලියේදී ලකුණු 1000 ක් සම්පූර්ණ කරමින් ජාතික කණ්ඩායමට පැමිණි ඕෂධ, ශ්‍රී ලංකාවේදී දුර්වල යැයි පැවසීම විහිළුවකි. දිමුත් කරුණාරත්න, ලෝක කුසලාන තරගාවලියේ සිට තමන් නායකත්වයට පත්කළ අසන්ත මෙල් ප‍්‍රමුඛ තේරීම් කමිටුව රැකගැනීමේ කටයුත්තේ නිතරව සිටින බව දැකගත හැකිවිය.

“වැන්ඩසේ ක‍්‍රීඩා කරවන්න කියලා කිව්වේ මමයි. නැත්නම් ඔහුට නිකම්ම යන්න වෙනවානේ”යැයි දිමුත් එංගලන්තයේදී පැවසීය. කෙසේ වෙතත් වැන්ඩසේ ක‍්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටුණු බව ක‍්‍රිකට් ලෝකයම බලා සිටියේය. ඕෂධ වැනි ක‍්‍රීඩකයකුට ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශය වැනි කණ්ඩායමකට එරෙහිව ක‍්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම් එය ඔහුගේ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවාසනාවකි. එය එසේ වුවද ළහිරු තිරිමාන්න තවදුරටත් සංචිතයේ රඳවාගෙන තිබේ. කොදෙව් පිලට එරෙහිව රැස්කළ ලකුණු 45 ඔහුට සංචාර කීපයකට ප‍්‍රමාණවත් වනු ඇති බව ඉඟි පළ කළ අතර එය යථාර්ථයක් බවට පත්ව තිබේ.

මෙම සංචිතයට දක්‍ෂ පිතිකරුවකු මෙන්ම පිට දඟපන්දු යවන්නකු වන ෂෙහාන් ජයසූරිය කැඳවා තිබුණි. එය ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් පිලට එරෙහිව තරගයේදී පන්දු යවන්නන් නොමැතිවීමෙන් මුහුණ දුන් අකරතැබ්බයට පිළිතුරැ සෙවීමකි. ෂෙහාන් පසුගිය අඟහරැවාදා පැවැති පුහුණු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වීය. ඒ අනුව පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගයේදී ෂෙහාන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇතැයි විශ්වාසයක් තිබුණි. තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැලසුම් කරන්නේ නම්, එසේත් නැත්නම් දිමුත් කරුණාරත්නට අනුව 2023 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායමක් සකස් කරන්නේ නම් ෂෙහාන් ජයසූරිය වැනි ක‍්‍රීඩකයන්ට ස්ථාවර වීමට අඛණ්ඩව අවස්ථාව දිය යුතුය.

ළහිරු මධුසංඛ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු යැයි පවසමින් නැවතත් මෙම තරගාවලියට කැඳවා තිබුණි. ළහිරු, නැඟී එන කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී දස්කම් දැක්වූයේ යැයි කියන පදනම මෙම සංචිතයට කැඳවා තිබේ. දස්කම් දක්වමින් සිටියදී සංචිතයෙන් ඉවත් කළ දසුන් ශානක පුහුණු තරගයේදී පන්දු 63 කින් නොදැවී ලකුණු 86 ක් රැස්කරමින් නැවතත් දස්කම් ප‍්‍රදර්ශනය කළේය. 

කෙසේ වුවත් මෙම තරගාවලියේ සිට අවම වශයෙන් ක‍්‍රීඩකයන් 20 කට පමණ නිදහසේ ක‍්‍රීඩා කිරීමේ පරිසරය උදාකර දෙමින් ප‍්‍රබල කණ්ඩායමක් නිර්මාණ කරගැනීමට මඟ පාදාගත යුතුව තිබේ.  

I වරකාගොඩ ගමගේ