2019 ජුලි 20 වන සෙනසුරාදා

ඔළුව ඉදිමුණු තේරීම් කමිටුව එක්ක කරන්න හදන වෙනස?

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 316

“බංග්ලාදේශ සංචාරයෙන් පසුව ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ට ඉවත් වෙන්න කියලා මම කිව්වා. ඒ අයට නැවත ඉල්ලුම් කරන්න කියන්න කියලත් කිව්වා. ඕනෑම පුහුණුකරැවකුට ඉලක්කයක් තිබිය යුතුයි. අපි ඊළඟට පත්කරන පුහුණුකරුවන්ට ඉලක්කයක් ලබාදෙනවා. මම ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සමඟ කථා කළා. ඒ වගේම ඔහුට ලිපියකිනුත් දැනුම් දුන්නා.”

“බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා ඇයි මේ පුහුණුකරුවො ඉවත් නොකරන්නෙ කියලා. ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ තියාගෙන ඒක කරන එක හොඳ නෑ කියලා මම හිතුවා” යැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගිය බදාදා කොළඹදී පැවැති ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල අමතමින් පැවසීය.

එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිල මාර පරාජයන් ලබද්දීම ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් පුහුණුකරුවන් පිළිබඳව සාකච්ඡා කර ඔවුන් ඉවත් කිරීමට තීරණය කර තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට පසුගියදා ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දී තිබුණි.

මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයාට ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයට වගකිව යුතු ප‍්‍රධාන පාර්ශ්වයක් අමතක වී තිබේ. ඒ අන් කිසිවකු නොව අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවයි. අසන්ත ද මෙල්ගේ ඒකාධිකාරයට යටවී තිබෙන තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලියට දුර්වල සංචිතයක් නම් කළ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ සඳහා සාක්‍ෂි ලෝක කුසලාන තරගාවලිය තුළදීම ලැබුණි.

නායක දිමුත් කරුණාරත්න ලෝක කුසලාන තරගාවලිය තුළදීම පැවසුවේ එම සංචිතයේ පිතිකරු ලැයිස්තුවේ අංක හය ස්ථානයට වෙනත් විකල්පයක් නොමැති බවයි. එය සනාථ කරමින් අංක හය පිතිකරු ලෙස තරග හතේදී පිතිකරැවන් පස්දෙනකු යොදාගත්තද සාර්ථක නොවීය.

දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ නිත්‍ය දඟ පන්දු යවන්නකු ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයට සහභාගි වුවද ඔහු අවසන් ඕවර කීපයේදී පන්දු යැවීමට සුදුසු මට්ටමක නොවීමෙන් නායකයා අමාරුවේ වැටුණේය. ඒ හේතුවෙන් නායක දිමුත්ටද ඕවරයක් යැවීමට සිදුවූ අතර ආබාධයන් හේතුවෙන් වසරකට වැඩි කාලයක් පන්දු යැවීමෙන් ඉවත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස්  ඕවර දෙකක් යැවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවුණේ නම් එම තරගයේ ප‍්‍රතිඵලයද වෙනස්වීමට ඉඩ තිබුණි.

ප‍්‍රමිතියෙන් යුත් ක‍්‍රීඩකයන් නොමැති වීම පිළිබඳව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ඇතුළු තේරීම් කමිටුව අනිවාර්යයෙන් වගකිව යුතුය. තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අසන්ත ද මෙල් මහතා කණ්ඩායම් කළමනාකරු ලෙස ලෝක කුසලාන තරගාවලියේ කටයුතු කළේය. අසන්ත සහ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පැහැදිලි සම්බන්ධතාවක් නොතිබූ බවද දැනගන්නට තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අසන්ත ද මෙල් කළමනාකරු ලෙස පත්කිරීමේ තවත් අරමුණක් බවට පත්වූයේ හතුරුසිංහ පාලනය කිරීම බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි. එංගලන්තයේදී හතුරුසිංහ මහතා තේරීම් පිළිබඳව පවසා තිබුණේ වෙනත් අය ගන්නා තීරණ පිළිබඳව තමන්ට වගකිව නොහැකි බවයි. හතුරුසිංහ සහ අසන්ත අතර ද ගැටුමක් පැවතුණු බව පැහැදිලිය. කෙසේ වෙතත් එම ගැටුමෙන්ද ශ‍්‍රී ලංකාවට අගතියක් වූවා මිස සුගතියක් වූයේ නැත.

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව පත්කළ අතර වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා එය වෙනස් කිරීමට කටයුතු නොකළේය. ක‍්‍රීඩා අමාත්‍යවරයාට දැන් ඒ සඳහා අවස්ථාව ලැබී තිබේ. පුහුණුකරුවන් ඉවත්කරන්නාක් මෙන්ම තේරීම් කමිටුවද වහාම ඉවත් කළ යුතුය. තේරීම් කමිටුව යනු වඩාත් හොඳ මහත්වරු පත්විය යුතු තැනක් වන අතර සෙසු පුද්ගලයන්ගේ අදහස්වලට ගරු නොකරන ‘මම පොර’ යැයි සිතා සිටින පුද්ගලයන්ට සුදුසු තැනක් නම් නොවේ.

ක‍්‍රීඩා අමාත්‍යවරයා තේරීම් කමිටුවට ඉවත් වන ලෙස දන්වා ඇතැයි මෙම සටහන තබන මොහොත දක්වා දැනගන්නට නොලැබුණි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගොඩගැනීමට නම් ඔළුව ඉදිමුණු මෙම තේරීම් කමිටුව ගෙදර යැවීම අනිවාර්යයෙන් කළ යුතුය. ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ක‍්‍රිකට් බලධාරීන් පුහුණුකරුවන් ඉවත් කිරීමට සූදානම් වුවද ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසා තිබුණේ තමන්ට තවත් මාස 16 ක කාලයක් ඇති බවත් ඉවත්වීමේ අදහසක් නොමැති බවත්ය.

මෙම තත්ත්වය මත හතුරුසිංහ ඉවත් කිරීමට තොවිලයක් නැටීමට සිදුවීමටද ඉඩ තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයද ඒ සඳහා කට්ටඩියන් ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී සොයමින් සිටි බව දැනගන්නට ලැබුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණේ එසේ වුවහොත් හතුරුසිංහට ඉහළින් පුහුණු උපදේශකයකු පත්කිරීමට පියවර ගන්නා බවයි.

වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රුකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලුවිස් යන මහත්වරු සෙසු ප‍්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. ස්ටීව් රික්සන් සහ ජෝන් ලුවිස් යන මහත්වරුන්ගේද ගිවිසුම් කාලය ඉදිරියට ඇති බවද වාර්තාවේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මොන පුහුණුකරුගේ ගිවිසුම් තව තිබුණ ද මොවුන්ගෙන් වැඩක් නොවූ බව පැහැදිලිය. ඒ හේතුවෙන් ඔවුන් තවදුරටත් තබා ගැනීමේ පලක් නැත.

 වරකාගොඩ ගමගේ