2019 ජුලි 20 වන සෙනසුරාදා

බංග්ලාදේශ තරගාවලිය අලුත් ගමනකට ආරම්භයක්

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියකට මෙම මස අග සහභාගි වීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය වෙනුවෙන් හොඳ අවස්ථාවක් බවට පත්කරගත යුතුය. මෙම තරගාවලිය තරුණ ක‍්‍රීඩකයන් කීපදෙනකුට අවස්ථාව ලබාදීමට මෙන්ම අත්හදා බැලීමට මහඟු කඩඉමක් බවට පත්ව තිබේ.

බංග්ලාදේශය යනු තවදුරටත් දුර්වල කණ්ඩායමක් නොවන බව ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රදර්ශනය වීම නිසා මෙය ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාද දීමනාවක් බඳුය. ඇතැම් ක‍්‍රීඩකයන් ටෙස්ට් තරගවලට පමණයි. ඇතැමුන් එක්දින තරගවලට පමණයි. තවත් කීප දෙනෙක් විස්සයි20 තරගවලට පමණක් යැයි සීමා පනවා තිබීම වහාම ඉවත් කළ යුතුය.

මෙම ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යනුවෙන් නිර්මාණය කරගෙන තිබෙන පුහු සීමාව හේතුවෙන් දිමුත් කරුණාරත්නට ඇතැම්විට කිසිදිනක නැවතත් එක්දින තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවීමට ඉඩ තිබුණි. ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලේ නායකත්වය බාරගැනීමට කිසිවකු නොමැති වීමෙන් තේරීම් කමිටුව ‘කබරගොයා තලගොයා’ කරගැනීම හේතුවෙන් දිමුත්ට අවස්ථාව ලැබුණු අතර ඔහු එහිදී සැලකිය යුතු සාර්ථකත්වයක් ප‍්‍රදර්ශනය කළේය.

ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලේ අංක හය පිතිකරු ස්ථානය පිළිබඳව දැවැන්ත ප‍්‍රශ්නයකට මුහුණ දුන්නේය. ටෙස්ට් පිලේ අංක හතර සහ පහ ස්ථානවල පන්දුවට පහර දෙමින් සිටි රොෂේන් සිල්වා වැනි ක‍්‍රීඩකයෙක් එක්දින තරගවල අංක හය ස්ථානයට ගෙන ඒමේ අවස්ථාව මෙම බංග්ලාදේශ සංචාරයේදී යෙදී තිබේ. රොෂේන් සිල්වා මෙම වසරේ ජනවාරි මස ඕස්ට්‍රේලියාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදී අසාර්ථක වීම හේතුවෙන් පෙබරවාරි මස පැවැති දකුණු අප‍්‍රිකානු සංචාරයේදී ඔහු සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය. 

දකුණු අප‍්‍රිකානු තරගාවලියේදී දස්කම් නොදැක්වූ ළහිරු තිරිමාන්න ලෝක කුසලාන තරගාවලියටද සහභාගි වූ අතර කොතරම් අසාර්ථක වූවද ඔහුට කොතනක හෝ ස්ථානයක් නිර්මාණ කිරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබිණි. තිස්හැවිරිදි රොෂේන් මේ දක්වා එක්දින වරම් ලබා නොමැත. හෂාන් තිලකරත්න එසේ නැත්නම් තිලාන් සමරවීර එක්දින තරගවලට ක‍්‍රීඩා කළේ නම් රොෂේන්ට ද එක්දින තරගවල ක‍්‍රීඩා කළ නොහැක්කේ මන්දැයි ප්‍රශ්නයකි.

වමතින් වේගපන්දු යවන විශ්ව ප‍්‍රනාන්දු මෙම වසරේ පෙබරවාරි මස දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් එක්දින තරගාවලියට ද සහභාගි විය. එසේ වුවද විශ්වට අඛණ්ඩව අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුවට කොන්දක් තිබුණේ නැත. විශ්වගේ පන්දු යැවීම එංගලන්තයේ තණතීරුවල සාර්ථක වීමට බොහෝදුරට ඉඩ තිබුණි. ඕෂද ප‍්‍රනාන්දු ද ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස දකුණු අප‍්‍රිකානු සංචාරයේදී දස්කම් දැක්වුවද ඔහුට ද ලෝක කුසලාන තරගාවලියේ ස්ථානය අහිමිවිය. 27 වැනි වියේ පසුවන විශ්ව ප‍්‍රනාන්දු සහ ඕෂද ප‍්‍රනාන්දු දෙපළට අවස්ථාවක් දීමට මෙම බංග්ලාදේශ එක්දින තරග තුන ප‍්‍රයෝජනයට ගතයුතුය.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්කිරීමේ දැඩි අසාධාරණයකට ලක්වූ හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ පිට දඟපන්දු යවන අකිල ධනංජය නැවත කණ්ඩායමට ගෙන ආ යුතුය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ගොඩගැනීමට නම් භාග ක‍්‍රීඩකයන්ගෙන් කණ්ඩායම පිරවීමද වහාම නතර කළ යුතුය. තිසර පෙරේරා සහ ඉසුරු උදාන වේගපන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ වෙති. එවැනි ක‍්‍රීඩකයන් දෙදෙනකු එක්දින තරගයකට ක‍්‍රීඩා කිරීම කිසිදු වාසියක් නොමැති බව ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රදර්ශනය විය.

ඒ හේතුවෙන් තිසර සහ ඉසුරු යන දෙදෙනාගෙන් ස්ථානය ලැබිය යුත්තේ එක් අයකුට පමණි. ඉසුරු ලෝක කුසලාන තරගාවලියේදී පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් තිසරට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියේය. ඒ හේතුවෙන් වේගපන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයාගේ අවස්ථාව ඉසුරුට ලැබිය යුතුය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අසන්ත ද මෙල්ලාගේ 80 දශකයේ ක‍්‍රිකට්වලින් මුදාගෙන ශක්තිමත්ව නැගී සිටීමට බංග්ලාදේශ සංචාරය යොදාගන්නා ආකාරය දෙස අපි බලා සිටිමු. 

 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00