2019 ජුලි 13 වන සෙනසුරාදා

හතුරුසිංහගේ “දඟකැවිල්ල”

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 253

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ඉවතට විසිවූ ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තවදුරටත් පුහුණුකරු ධූරයේ කටයුතු කරන බව පැවසීමත් සමඟ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ නව ගැටලුවක් නිර්මාණ වී තිබේ. හතුරුසිංහ ඇතුළු ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරුවන් සිව්දෙනාම ඉවත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා අදහස් කර ඇති අවස්ථාවක හතුරුසිංහ තවදුරටත් රුඳී සිටින බව පැවසීම අර්බුදයකට මුල පිරීමකි. 

පුහුණුකරු කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් පුහුණු කාර්ය මණ්ඩලයට ඔහුට ඉහළින් වෙනත් කෙනෙකු පත්කිරීමට සිදුවන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා තිබුණි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් මේ වනවිටත් නව පුහුණුකරුවකු සොයමින් සිටින අතර ඩේව් වට්මෝර් මහතා පුහුණු උපදේශකයකු ලෙස සේවයට බැඳීමට සූදානමින් සිටියි.

ශ‍්‍රී ලංකා පිල පසුගිය සඳුදා පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී හතුරැසිංහ මෙසේ පැවසීය.  

“මට තවත් මාස 16 ක් තියෙනවා. මගේ ගිවිසුම අවසන් වනතෙක් මම තනතුරේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධ වූ දේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම වගකීම බාරගත යුතුයි. අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. අපි ඒ ගැන හිතන්න ඕනේ. මෙයින් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න ඕනේ. මම හිතන විදියට මම උපරිමය කළා” 

හතුරුසිංහගේ මෙම ඉතාමත් කෙටි ප‍්‍රකාශය තුළින් විශාල ගැටලු රැසක් මතුවේ. ඔහු 2018 වසරේ ජනවාරි මස සිට මාස 19ක කාලයක් ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් ශ‍්‍රී ලංකාව තුළ ශ‍්‍රී ලාංකිකයකු ලබන දැවැන්ත වැටුප විය හැකි ලක්‍ෂ 70 කට අධික වැටුපක් මාසයකට ලබයි. 

හතුරුසිංහගෙන් එම කාලය තුළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වැටුපට සරිලන සේවයක් ලැබුණේද යන්න දැවැන්ත ගැටලුවකි. ඔහු පුහුණුකරු ධූරය ලබාගැනීමෙන් පසුව ක‍්‍රිකට් කණ්ඩායම කබලෙන් ළිපට වැටී තිබේ. ශ‍්‍රී ලංකා පිල 2018 වසරේ ජනවාරි මස සිට ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා කිසිදු වර්ධනයක් පෙන්වා නොමැති අතර තවදුරටත් දුර්වල වී තිබේ. 

ඒ අනුව හතුරුසිංහ ඉදිරි මාස 16ක කාලය තුළ රැඳී සිටියද වර්ධනයක් විය හැකි හැකි බලාපොරොත්තු විය නොහැක. හතුරුසිංහ පවසන්නේ ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයේ වගකීම සියලු දෙනාම බාරගත යුතු බවයි. මීට මාස 10 කට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ වගකීම නායක ඇන්ජලෝ මැතිව්ස් පිට පටවා ඔහු ඉවත්කිරීමට මූලික වූයේද හතුරුසිංහ බව ප‍්‍රසිද්ධ රහසකි. එම පරාජයේ වගකීම සියලුම දෙනා බාරගත යුතු බවට මැතිව්ස්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලිපියක් සමඟින් දැනුම්වත් කළේය. 
ඒ අනුව මෙම ප‍්‍රකාශය ‘කන්න  ඕන උනාම කබරගොයා තලගොයා බවට පත්කරගන්නවා’ වැනි එකකි. ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය බාරගන්නා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ට තේරීම් කමිටුව ආරාධනා කළ ඔහු එය තරයේ ප‍්‍රතික්ෂේප කළේය. 

“අපෝ එයා ඉන්නකන් මම  ඕවා බාරගන්නෙ නෑ. දැක්කනේ එකපාරක් රට වෙනුවෙන් කියලා මම බාරගත්තා. එයා යූ ටර්න් ගහලා මට වැඩේ දුන්නා” යැයි මැතිව්ස් පවසා ඇතැයි දැනගන්නට තිබේ. “මම හිතන විදියට මම උපරිමය කළා” යැයි හතුරුසිංහ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව පවසා තිබුණි. තරග හතකින් තුනක් ජයලැබීම මෙන්ම පරාජය වූ සියලු තරග ඉතාමත් අඩු දස්කම් මත පරාජය වීම හතුරුසිංහගේ උපරිමය නම් ඔහු තවදුරටත් තබාගැනීම පිළිබඳව දෙවරක් නොව කිහිපවරක් සිතාබැලිය යුතුය.

හතුරැසිංහ පසුගිය වසරේ (2018) ජනවාරි මස ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව ඔහු යටතේ මේ දක්වා ශ‍්‍රී ලංකාව එක්දින තරග 33 කට සහභාගි වී තරග 22 ක්ම පරාජයට පත්ව තිබේ. තරග 10ක් පමණක් ජය ලබා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ඒ අනුව හතුරුසිංහගේ සාර්ථකත්වය 30%ක් පමණය. එම දත්ත අනුවද ඔහු අසාර්ථකය. 

හතුරුසිංහ යටතේ 2018 වසරේ ඇෆ්ගනිස්තානය හමුවේ ඉතිහාසයේ පළමුවරට පරාජය වෙමින් ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවිය. ඉන් පසුව මෙම වසර මුල නවසීලන්තය හමුවේ 3-0 කින් සහ දකුණු අප‍්‍රිකාව හමුවේ 5-0 කින් එක්දින තරගාවලි පරාජ ලැබීය.

ටෙස්ට් සහ විස්සයි20 යන අංශ දෙකේ සාර්ථකත්වයේද මීට වඩා ලොකු වෙනසක් නැත. හතුරුසිංහ පැමිණීමෙන් පසුව කණ්ඩායම තුළ විවිධ අර්බුද නිර්මාණය වූ බවද දැනගන්නට තිබේ. ඇතැම් ක‍්‍රීඩකයන් කොතරම් අසාර්ථක වූවද අඛණ්ඩව කණ්ඩායමේ රැඳී සිටීමට හතුරුසිංහට හේත්තු වූ බවටද කතා පැතිර යයි. ඒ හේතුවෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කපා දැමීමට තේරීම් කමිටුව කටයුතු කිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අහිතකර ප‍්‍රතිඵල ගෙන දුන්නේය.
පසුගිය වසර එකහමාරක කාලය තුළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක හිටපු ක‍්‍රීඩකයන් වන කණ්ඩායම් කළමනාකරුවන් ලෙස කටයුතු කළ දෙදෙනකු සේවයෙන් ඉවත් කිරීමට සිදුවිය. ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් පිල දකුණු අප‍්‍රිකාවේදී පසුගිය පෙබරවාරි මස ලැබූ ටෙස්ට් ජයග‍්‍රහණයෙන් පසුව ක‍්‍රීඩක විවේකාගාරය තුළ ක‍්‍රීඩකයන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පළවූ අතර එම සිද්ධියට ද ඇතැම් නිලධාරීන් වෙත චෝදනා එල්ල විය. හතුරුසිංහ සම්බන්ධයෙන් ඉදිරියේදී බොහෝ දේ අසන්නට සහ බලන්නට ලැබෙනු ඇත. 

 වරකාගොඩ ගමගේ