2019 ජුලි 13 වන සෙනසුරාදා

ක්‍රිකට් රජ කිරුළට සටන් වදින කෝඩුකාරයෝ

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

දෙළොස්වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටන නවසීලන්තය සහ එංගලන්තය අතර ‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මහ ගෙදර’ ලෙස සැළකෙන ලන්ඩන් නුවර ලෝඩ්ස් ක‍්‍රීඩාංගණයේදී අද (14) දිවා තරගයක් ලෙස පැවැත්වේ. එංගලන්තය සහ නවසීලන්තය මේ දක්වා එක්දින ලෝක කුසලාන ශූරයන් බවට පත්වී නොමැති වීම නිසා මෙම අවසන් මහ තරගය ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව තිබේ.

ලෝඩ්ස් පිටියේ අද දිනයේ අණසක පතුරණ කණ්ඩායමට රුපියල් කෝටි 70 ක අති දැවැන්ත මුදල් ත්‍යාගයක් හිමිවේ. මෙවර ලෝක කුසලාන ශූරයන් ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 70 කට අධික මුදලකට හිමිකම් කියයි. අනුශූරතාවට ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 35 කට අධික මුදලක් හිමිවේ.

බර්මින්හැම්හිදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සත්කාරක එංගලන්ත ක‍්‍රීඩකයෝ කඩුලු අටකින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. එංගලන්තය වසර 27 කට පසු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි. එංගලන්තය තෙවරක් අවසන් මහ තරගයට සහභාගි වුවද ශූරතාව දිනාගැනීමට නොහැකි වී තිබේ.

ආසන්නතම ලෝක ශූරයන් වන ඕස්ටේ‍්‍රලියාවටද අවසන් පූර්ව තරගයෙන් මෙම තරගාවලිය අවසන් කිරීමට සිදුවිය. ඉන්දියාව සහ නවසීලන්තය අතර මැන්චෙස්ටර් පසුගිය 10 වැනිදා දෙවැනි දිනට පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් අනගි ජයක් ලැබූ නවසීලන්තය පිට පිටම දෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

විරාට් කෝලි ප‍්‍රමුඛ ප‍්‍රබල ඉන්දීය පිලට අවසන් පූර්ව තරගයෙන් නැවතීමට සිදුවීම වඩාත් කැපී පෙනුණි. පළමු අවසන් පූර්ව තරගයට පළමු දිනයේ වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා නවසීලන්ත ඉනිමේ අවසන් ඕවර හතරේ සිට අතිරේක දිනය වූ පසුදින ක‍්‍රියාත්මක කළේය. 

යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට...