2019 ජුලි 06 වන සෙනසුරාදා

තේරීම් කමිටුව ෆේල්!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 331

ශ‍්‍රී ලංකා පිල එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවී අවසන්ය. එහිදී ශ‍්‍රී ලංකා පිලේ දැඩි පසුබෑම පිළිබඳව විවිධ පාර්ශවවලට චෝදනා එල්ල වී තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 10න් කණ්ඩායම් හතරකට පමණක් අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් හිමිවන නිසා ශ‍්‍රී ලංකාව පළමු වටයෙන් ඉවතට විසිවීම එතරම් ප‍්‍රශ්නයක් නොවුණද ශ‍්‍රී ලංකා පිල තරග පරාජය වූ ආකාරය දෙස බැලීමේදී ප‍්‍රශ්නයක් ඇති බව පැහැදිලිය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පසුගිය සඳුදා පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා පිල පාසල් කණ්ඩායමකටත් පහත් මට්ටමකට වැටෙමින් ඕවර දෙකක් යැවීමට පන්දු යවන්නකු නොමැති තත්ත්වයකට පත්විය. ආබාධයකට ලක්ව පන්දු යැවීම තාවකාලිකව අත්හිටුවා සිටි ඇන්ජලෝ මැතිව්ස් මාස හතකට පමණ පසු පන්දු යවමින් ශ‍්‍රී ලංකාවෙන් ගිලිහීමට ගිය ජයග‍්‍රහණය නැවත හරවා ගත්තේය. 

නිත්‍ය දඟපන්දු යවන්නකු ලෙස ජෙෆ්රි වැන්ඩසේ එම තරගයට ඇතුළත්ව සිටියත් ඔහුට තවත්  ඕවර තුනක් ඉතිරිව තිබුණද ඔහු ඕවරයක් යැව්වේ නම් කොදෙව් පිල ජය ලබන බවට කණ්ඩායම තුළ දැඩි විශ්වාසයක් තිබූ නිසා ඔහු සඟව‍ා තිබුණි . එහිදී වැන්ඩසේගේ පන්දු යැවීම දැඩි දුර්වල තත්ත්වයක පැවැති අතර ඔහු නිත්‍ය පන්දු යවන්නෙක් දැයි ප්‍රශ්න කරන තරමට දුර්වල බවක් පෙන්වීය.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සංචිතය නම් කිරීමේ සිට ඉදිරියට සිදුවූ බොහෝ දේ ගැටලු සහගතය. ශ‍්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නිවේදනය කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පසුගිය අප්‍රේල් මස පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ඇතැම් ක‍්‍රීඩකයන් සංචිතයේ නොමැති වීම සම්බන්ධයෙන් සුරංගනා කථා රැසක් ප‍්‍රකාශ කළ අතර ඒවාට සවන් දී සිටීම පමණක් බොහෝ දෙනකුට කළ හැකිව තිබුණි.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් පමණක් සහභාගී වූ අන්තර් පළාත් තරගාවලියකින් මෙම ලෝක කුසලාන සංචිතය තෝරාගත් පසුව එහි හිඩැසක් ඇති බව මනාව ප‍්‍රදර්ශනය විය. එම තරගාවලියේදී ලකුණු රැස්කළ, කඩුලු දවාගත් ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, ජීවන් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ යන ක‍්‍රීඩකයන් කීපදෙනකු සංචිතයට ඇතුළත් කරනු ලැබූහ. මෑතකදී ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය වැනි ක‍්‍රීඩකයන්ට ගෙදර සිටීමට සිදුවිය. මෙම ඇතැම් ක‍්‍රීඩකයන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමඟ ළඟින් ඇසුරු කරන්නේ යැයි කියන අනුමානය මත ඉවත් කළ බවටද දැනගන්නට තිබේ.

“චන්දිමාල්ට මේ කණ්ඩායමේ ස්ථානයක් නෑ. තැනක් තියෙනවා නම් ඔයා කියන්න බලන්න” යැයි එහිදී තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කළේය. 

චන්දිමාල්ට එකොළොස් දෙනාගේ තැනැක් නැතැයි පැවසූ තේරීම් කමිටුව පිතිකරු ලැයිස්තුවේ හයවැනි ස්ථානයට ලෝක කුසලාන පළමු තරග පහේදී පිතිකරුවන් සිවුදෙනකු අත්හදා බැලීය. නවසීලන්තයට එරෙහිව පළමු තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්, දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ධනංජය ද සිල්වා, තෙවැනි තරගයේදී  ඕස්ට්‍රේ ලියාවට එරෙහිව මිලින්ද සිරිවර්ධන සහ සිව්වැනි තරගයේදී එංගලන්තයට එරෙහිව ජීවන් මෙන්ඩිස් අංක හය ස්ථානයේ පන්දුවට පහර දුන්හ. මෙම සිවු දෙනාගෙන් මිලින්ද සිරිවර්ධන පමණක් ලකුණු තුනක් රැස්කළ අතර සෙසු තිදෙනාම ලකුණු නොලබා දැවී ගියහ. 

සිවුවැනි තරගයේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව නැවතත් ධනංජය ද සිල්වා අංක හය ස්ථානයට නැවත යෙදවූ අතර ඔහු ලකුණු 24 ක් රැස්කළේය. දකුණු අප‍්‍රිකාවට එරෙහිව තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පහර දුන් පන්දු 297න් පන්දු 187 කට ලකුණු රැස්කර නොතිබුණි. ඒ අනුව ඕවර 31 කට තට්ටු පමණක් දමා තිබුණි. මෙවැනි අවස්ථාවක එක ලකුණ බැගින් රැස්කරන ලෙස පිතිකරුවන්ට පණිවුඩයක් යැවීමට පුහුණුකරැට වගකීමක් තිබේ. එවැනි දේ මේ කණ්ඩායම තුළ නැතැයි සිතිය හැකිය. 

ළහිරු තිරිමාන්න සහ ජීවන් මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් සහ දික්වැල්ල රැගෙන ගියේ නම් මෙවැනි තත්ත්වයකට පහසුවෙන් මුහුණ දීමේ අවස්ථාව තිබුණි. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටු පත්වූ දින සිට ළහිරු තිරිමාන්න ගෙන ඒමේ දැඩි උවමනාවක් පැවැතීම වඩාත් හාස්‍යජනකය. තිරිමාන්න මේ වනවිට අසන්ත ද මෙල් මහතා පමණක් නොව සමස්ත ක‍්‍රිකට් ලෝකයම හාස්‍යයට පත්කර හමාරය. ලෝක කුසලාන සංචිතය නම් කරමින් අසන්ත ද මෙල් මහතා පැවසුවේ තිරිමාන්නට මෙතරම් කල් අවස්ථාව නොලැබීම පිළිබඳව තමන් පුදුමයට පත්වන බවය. අවිශ්ක ප‍්‍රනාන්දු සංචිතයේ සිටියදී තරග පහකට ළහිරු තිරිමාන්න ක‍්‍රීඩා කිරීම කොතරම් අපරාධයක්ද යන්න දැන් පැහැදිලිය.

ඉන් නොනැවතුණු තේරීම් කමිටුව කොදෙව් පිලට එරෙහිව තරගයේදී පිතිකරු ලැයිස්තුවේ අංක හය ස්ථානය නැවත වෙනස් කරමින් ළහිරු තිරිමාන්න එම ස්ථානයට ගෙන ආවේය. එහිදී තිරිමාන්න බඩගාමින් නොදැවී රැස්කළ ලකුණු 45 මෙම තේරීම් කමිටුව දිගටම කටයුතු කළහොත් සංචාර කීපයකට ප‍්‍රමාණවත් වනු ඇත. ශ‍්‍රී ලංකා පිලේ දක්‍ෂතම පිට දඟපන්දු යවන්නා වූ අකිල ධනංජය සංචිතයෙන් එළියට තැබීම සාධාරණීකරණය සඳහා අසන්ත ද මෙල් මහතා ලස්සන පිළිතුරකට සූදානම් වී පැමිණියේය.

“ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් වෙනස් කළාට පසුව වෙනදා වගේ පන්දු යවන්නේ නෑ. ධනංජය පන්දු 26 කින් කඩුල්ලක් දවාගන්නා විට අකිල පන්දු 58 කින් කඩුල්ලක් දවාගන්නේ. ඒ නිසා මේ සංචිතයේ අකිලට ඉඩක් නෑ. ඔහු සංචිතයට එනවා නම් ක‍්‍රීඩා කරන්න  ඕනේ” යැයි අසන්ත ද මෙල් මහතා පැවසීය. එය එසේ වුවද ඊට සති දෙකකට පමණ පසුව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රෝයි ඩයස් මහතා පැවසුවේ අකිල, ලෝක කුසලාන තරගාවලියට සහභාගි වියහැකි මට්ටමේ සිටින බවයි. 

ශ‍්‍රී ලංකා පිලට තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන තුන් ඉරියව් ක‍්‍රීඩකයන් යැයි කියා ගන්නා දෙදෙනාම අවශ්‍ය යැයි සිතා බැලීමට දැන් ප‍්‍රමාද වැඩිය. එම දෙදෙනාගෙන් කෙනෙකු පමණක් ක‍්‍රීඩා කළ යුතුය. තිසර පෙරේරා තුන් ඉරියව් ක‍්‍රීඩකයක් ලෙස ලෝක කුසලාන තරගාවලියේදී කළ දෙයක් නොමැත. ඒ හේතුවෙන් ඔහු පිළිබඳව දෙවරක් නොසිතා තීරණයක් ගත යුතුය. ඉසුරු උදාන පිතිකරුවකු ලෙස සාර්ථක නොවූවද පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් දස්කම් අතරට පැමිණියේය. 

ලෝක කුසලාන සංචිතය තේරීමේදී ඇතැම් ක‍්‍රීඩකයන්ට වූ අසාධාරණය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම තේරීම් සම්බන්ධයෙන් අසන්ත ද මෙල් මහතා හොඳින් පිළිතුරු දුන් බවයි. අසන්ත ද මෙල් මහතා ලෝක කුසලාන සංචිතය සහ අවස්ථාව අහිමිකළ ක‍්‍රීඩකයන් පිළිබඳව ලබාදුන් සුරංගනා කථාවෙන් මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප්‍රේ ක්‍ෂකයෝ නින්දට වැටී සිටිති. ඒ තරමටම එම කථාව නිර්මාණයකි. 
“ජාතික කණ්ඩායමකට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිය යුත්තේ ජාතික ධජය යටතේ ක‍්‍රීඩා කරන නිසයි. නැතුව වෙන දෙයක් නෑ. ඒ නිසා තේරීම්වලට මට බලපෑම් කරන්න බෑ.”

ක‍්‍රීඩකයන්ගේ ගැටලු විසඳිමට ‘දුක්ගන්නා රාළ’ තනතුරක් ඇති කරනවා යැයි කියා තනතුරට පැමිණි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය. ක‍්‍රීඩා අමාත්‍යවරයා පෙරහැර ගියාට පසුව කසකරුවන් සොයන්නාක් මෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව උඩුයටිකුරු කරන තීරණයක් ගන්නා බව පසුගියදා පවසා තිබුණි. එම උඩයටිකුරු කිරීම ද මීට පෙර ප‍්‍රකාශ මෙන්ම යටිකුරු වනු ඇත.

කොදෙව් පිලට එරෙහිව ඩර්හැම් ක‍්‍රීඩාංගණයේ පැවැති තරගය නැරඹීමට පැමිණ සිටි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ගුවන් විදුලි තරග විචාරයට සජීව සම්බන්ධ විය. තවද රූපවාහිනී නාළිකාවලටද කථා කළේය. මෙවැනි පාලකයන් සිටින රටක ක‍්‍රීඩාව ලෝක කුසලාන සහභාගිත්වයකට හෝ ඉතිරිව තිබීම පිළිබඳ සතුටු වියයුතුය. 

 යොහාන් භාසුර, එංගලන්තයේ ලීඩ්ස් සිට...

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00