2019 ජුනි 22 වන සෙනසුරාදා

බංග්ලාදේශය තරගාවලියේ පෙරළිකාරයා වෙයි

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මේ දක්වා වඩාත් පෙරළිකාර කණ්ඩායම බවට පත්ව සිටියි. බංග්ලාදේශ පිල පළමු තරගයේදී ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල පරාජය කරමින් දස්කම් දක්වා පසුගිය සඳුදා බටහිර ඉන්දීය කොදෙව් පිල පහසුවෙන් පරාජය කරමින් තව දුරටත් එම දස්කම් ඉදිරියට රැගෙන ගියේය.

එහිදී බංග්ලාදේශ පිල ඕවර 41.3 කදී කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 322 ක් හඹාගොස් ජය ලැබීම ක‍්‍රිකට් ලෝකයම විමතියට පත් කළේය. බංග්ලාදේශ පිල සහභාගි වූ තරග හතරෙන් දෙකකදී ලකුණු 300 පසු කිරීම ඉදිරි තරගවලදී සෙසු කණ්ඩායම් ප‍්‍රවේසම් විය යුතු තත්ත්වයකි.

බංග්ලාදේශ පිලේ මෙම තරගාවලිය පුරාම වඩාත් කැපී පෙනෙන ශකීබ් අල් හසන් මෙහිදී පිට පිටම දෙවැනි ශතකය ලෙස නොදැවී ලකුණු 124 ක් රුස් කිරීමට සමත් විය.

ලිටන් දාස් පන්දු 69 කින් නොදැවී රැස් කළ ලකුණු 94 කළ තරග කනපිට පෙරළුවේය. දාස්ගේ ඉනිමට ඇතුළත් වූ හතරේ පහර අට සහ හයේ පහර හතර කොදෙව් පන්දු යවන්නන්ට කණේ පහර වැනි විය.

බංග්ලාදේශය මෙම ජයග‍්‍රහණයත් සමඟ ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට පැමිණියේය. 

පළමු වටයේ තරග අඩක් පමණ අවසන් වුවද අවසන් පූර්ව වටයට අනිවාර්යෙන්ම සුදුසුකම් ලැබූ කණ්ඩායමක් නම් කළ නොහැකි ලෙස තරගාවලිය උණුසුම් වී තිබුණි. මෙම තත්ත්වය හමුවේ ඉදිරි සතියේ පැවැත්වෙන එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය ඇතුළු තරග වඩාත් තීරණාත්මක වනු ඇත. 

ලෝකයේම අවදානය දිනාගත් තරගය වූ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයෙන් ඉන්දියාව ලකුණු 89 කින් ජය ලැබීමත් සමඟ ඉන්දියාව තව දුරටත් අපරාජිත වාර්තාව රැකගෙන සිටියි. ඉන්දියාව සහ පාකිස්තානය අතර පළමු වටයේ 22 වැනි තරගයට ලෝකයේම දැඩි අවධානයක් යොමු වී තිබූ අතර එම තරගය පමණක් නැරඹීමට ඉන්දීය ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ සිට පැමිණ සිටියහ.

ශ‍්‍රී ලංකාවට එරෙහිව ජය ලැබූ  ඕස්ටේ‍්‍රලියාව තරග පහකදී ප‍්‍රසාද ලකුණු අටක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටියේය. ඕස්ටේ‍්‍රලියාවට අවසන් පූර්ව තරගයට පිවිසීමට ඉදිරි තරග හතරෙන් දෙකක් ජය ලැබීම ප‍්‍රමාණවත් වී තිබේ. නවසීලන්තය තරග හතරකදී තරග තුනක් ජය ලබා තරගයක් විසඳුමකින් තොරව අවසන්ව ප‍්‍රසාද ලකුණු හතක් ලබා අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ප‍්‍රබල කණ්ඩායම් අතරින් දකුණු අප‍්‍රිකාව ආරම්භයේ සිටම පහතට වැටුණු අතර 23 වැනි තරගය අවසන් වනවිට දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු තුනක් පමණක් ලබා අටවැනි ස්ථානයේ පසුවිය.

 යොහාන් භාසුර, එංගලන්තයේ ලීඩ්ස් සිට...