2019 ජුනි 22 වන සෙනසුරාදා

පාර වරද්දා ගන්නා ශ්‍රී ලංකා පිල

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 144

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ද සුපුරුදු ‘රෝගය’ වැළඳීමෙන් අසීරු තත්ත්වයට පත්ව සිටියි. ඕස්ට්‍ලිෙයාවට එරෙහිව ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති තරගය ජය ලැබීමට තිබූ අනගි අවස්ථාව මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවෝ අපතේ යැවූහ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර දෙක තුනක කාලය සිට පන්දු යැවීම හොඳ වුවහොත් පන්දුවට පහර දීම දුර්වල වීමේ, එසේ නැත්නම් ආරම්භක පිතිකරුවන් සාර්ථක වුවහොත් මැද පෙළ අසාර්ථක වීමේ ‘රෝගය’ ප‍්‍රදර්ශනය කළේය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය ශ‍්‍රී ලංකාව පරාජය වීමට මග සකස් කළ අවස්ථා කීපයක් දැකිය හැකිය. 

දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පන්දු 93 කින් ලකුණු 115 ක සම්බන්ධතාවක් පවත්මින් සාර්ථක ආරම්භයක් ලබාදුන්න ද අංක තුන ස්ථානයට ළහිරු තිරිමාන්න කැඳවීමෙන් කඩුලු පෙරහැරට මුල පිරිණි.

තිරිමාන්න වැනි සත පහක විශ්වාසයක් තැබිය නොහැකි පිතිකරුවකු ඉනිමේ සාර්ථක අවස්ථාවක පන්දුවට පහර දීමට එවීම කනගාටුදායකය. මෙම තරගාවලිය පුරාම ලකුණු අතර නොසිටි ඇන්ජලෝ මැතිව්ස් වැනි පිතිකරුවකුට එම අවස්ථාව දුන්නේ නම් ප‍්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.

එසේ නොවේ නම් තිරිමාන්න ඉදිරියට දැමීම අසාර්ථක වී සිටින කුසල් මෙන්ඩිස් රැකගැනීමේ උපායක් විය හැකිය. කුසල් මෙන්ඩිස් අංක හතර ස්ථානයේ පන්දුවට පහර දෙමින් ලකුණු 30 ක් රුස්කළ ද ඔහු සාර්ථක පිතිහරඹයක නිරත නොවීය. ඔහු අංක හතර ස්ථානයේ අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දුවට පහර දිය යුතුව තිබුණ ද එවැනි පිතිහරඹයක් දැකගැනීමට නොහැකි විය.

කුසල් ජනිත් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටියදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවීගියේය. එම දැවී යෑම  ඕස්ටේ‍්‍රලියානු පිලේ සැලැස්මක් සාර්ථක වීමකි.

ස්ටාක් පළමු සහ තෙවැනි  ඕවර දෙක යවා සිටියදී 14 වැනි  ඕවරයේදී නැවත කැඳවීම් ලැබුවේ කඩුල්ලක් දවාගෙන  ඕස්ටේ‍්‍රලියාවට නැවත තරගයට පිවිසිය හැකි යන විශ්වාසය මත බව පැහැදිලිය. කුසල් පෙරේරා එය සිතේ තබාගෙන ප‍්‍රවේසමට පන්දුවට පහර දුන්නේ නම් ආරම්භක සම්බන්ධතාව තව දුරට ගෙන යෑමේ අවස්ථාව තිබුණි.

 ප‍්‍රතිවාදීන්ගේ එවැනි සැලැස්ම පිළිබඳව අවබෝධයෙන් සිටිමින් ක‍්‍රීඩකයන්ට උපදෙස් දීම පුහුණුකරුගේ වගකීම වුවද ශ‍්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් එවැනි සේවයක් නොවන බව පෙනේ. ඒ අනුව හතුරුසිංහ ලක්‍ෂ 80 ක මාසික වැටුපක් ලැබන්නේ කුමක් සඳහා ද යන ගැටළුව නැවතත් මතුවේ.

ශ‍්‍රී ලංකා පිලේ පිතිකරු ලැයිස්තුව පිළිබඳව ගැටලුව තවමත් ප‍්‍රශ්නයක් වී තිබේ. ශ‍්‍රී ලංකා පිලේ නිලධාරියකු පිලේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පවසා ඇත්තේ තමන් ද මෙම පිතිකරු ලැයිස්තු අනුමත නොකළ ද පුහුණුකරුගේ තීරණවලට ඇඟිලි ගැසීමට කැමැත්තක් නොමැති බවයි.

ඕස්ටේ‍්‍රලියව පළමු පන්දුවට පහර දී ලකුණු 334 ක් වැනි විශාල සංඛ්‍යාවක් ලබාගැනීම ද පාඩුවක් බවට පත්විය. එම ප‍්‍රහාරයට ප‍්‍රධාන හේතුව බවට පත්වූයේ ශ‍්‍රී ලංකා පිලට තරගකාරිත්වයට මුහුණදිය හැකි පන්දු යවන්නන් නොමැති වීමය. 
මුත්තයියා මුරලිදරන් වැනි දඟ පන්දු යවන්නකු සිටි කණ්ඩායමක ධනංජය ද සිල්වා ප‍්‍රධාන දඟ පන්දු යවන්නා බවට පත්ව සිටීම හාස්‍ය දනවන්නකි. දෙවැනි දඟ පන්දු යවන්නා වන මිලින්ද සිරිවර්ධන  ඕවර දෙකක් පමණක් යැවූ අතර ඔහුගේ පන්දු යැවීම ලෝක කුසලාන තරගාවලියකට කෙසේවත් ප‍්‍රමාණවත් නොවේ.

ශ‍්‍රී ලංකා පිලට තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන තුන් ඉරියව් ක‍්‍රීඩකයන් යැයි කියන දෙදෙනාම අවශ්‍ය ද යන්න පිළිබඳව ලෝක කුසලාන තරගාවලියෙන් පසුව හෝ අවධානය යොමු කළ යුතුය. මෙම ලෝක කුසලාන සංචිතයේ පිතිකරුවකු ලෙස අවිෂ්ක ප‍්‍රනාන්දු පමණක් සිටින අතර ඒ හේතුවෙන් නිත්‍ය පිතිකරුවකු ගෙන ඒමේ අවස්ථාවක් නැත. 

වේග පන්දු යවන්නන් සිවුදෙනාගෙන් නුවන් ප‍්‍රදීප් යැවූ ඉනිමේ 41 වැනි  ඕවරයට ලකුණු 18 ක් සහ 47 වැනි  ඕවරයට ලකුණු 22 ක්, මෙන්ම ධනංජය ද සිල්වා යැවූ ඉනිමේ 21 වැනි  ඕවරයට ලකුණු 20 ක් එකතු වීම  ඕස්ටේ‍්‍රලියානු පිලට ලකුණු 334 ක් දක්වා ඒමට මග පැදුවේය. එම  ඕවර තුනෙන් ලකුණු 60 ක් එකතු වූ අතර එම  ඕවර තුන අවම වශයෙන් ලකුණු 25 කට අවසන් කළේ නම්  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 300 ට අඩුවෙන් නතර කිරීමේ අවස්ථාව උදා කර ගැනීමට හැකියාව තිබිණි.
ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේ ලකුණු 300 කට අඩු ඉලක්කයක් එතරම් අපහසු නොවන බව එම ක‍්‍රීඩාංගණය පිළිබඳව දැනුමැත්තෝ පැවසූහ. 

‘අශ්වයා පැනගිය පසු ස්තාලය වසා පළක් නැත’ තරග තුළදී මෙවැනි දේ ගැන අවධානය යොමු කළ යුතුව තිබුණි. 

සත්කාරක එංගලන්ත පිලට එරෙහිව තරගය පසුගිය සිකුරාදා (21 වැනිදා) ලීඩ්ස්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි. ශ‍්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයට පැමිණීමට නම් ඉතිරි තරග හතරෙන් තුනක් අනිවාර්යෙන්ම ජය ලැබිය යුතුය.  

 යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00