2019 ජුනි 15 වන සෙනසුරාදා

නවසීලන්තය පෙරමුණේ

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

බ්‍රිතාන්‍යය ක‍්‍රිකට් ගම්මානයක් බවට පත්කරමින් දැන් පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 16ක් අවසන් වනවිට ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිලේ දැවැන්ත පසුබෑම වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව තිබුණි. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පසුගිය සඳුදා පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් දකුණු අප‍්‍රිකාවට පළමු එකම ප‍්‍රසාද ලකුණ එකතු විය. දකුණු අප‍්‍රිකාව එම තරගයට පෙර එංගලන්තය, බංග්ලාදේශය සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්ව සිටියේය. වර්ෂාව හෝ වෙනයම් අනපේක්‍ෂිත දෙයක් සිදු නොවුණහොත් දකුණු අප‍්‍රිකාව අවසන් පූර්ව තරගය පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ඉදිරි තරග පහෙන් අවම වශයෙන් හතරක් ජය ලැබිය යුතු තත්ත්වයක් නිර්මාණ වී තිබේ.

නවසීලන්තය සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 6ක් සමගින් අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටියි. සත්කාරක එංගලන්තය තරග තුනෙන් දෙකක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 4ක් ලබා ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි ස්ථානයේ පසුවේ. 

ක‍්‍රිකට් ලොව බලවතා වන ඉන්දියාව පසුගිය සතියේ දකුණු අප‍්‍රිකාව පරාජය කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. විරාට් කෝලිගේ නායකත්වයෙන් මහේන්ද්‍ර සිං දෝනිගේ උපදේශකත්වයෙන් ක‍්‍රියාත්මක වන ඉන්දීය පිල පසුගිය ඉරිදා ඕස්ට්‍රේලියාව පරාජය කරමින් දෙවැනි ජයග‍්‍රහණයත් ලැබීය. ඕස්ට්‍රේලියාව ලැබූ එම පරාජයත් සමඟ ඔවුන්ගේ අපරාජිත වාර්තාව බිඳ වැටුණි. ඉන්දියාව සහභාගි වූ තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.  

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්විය හැකි බවට ඉඟි පළවූ බටහිර ඉන්දීය කොදෙව් පිල ඕස්ට්‍රේලියාවට පරාජයට පත්වුවද කොදෙව් පිලේ පිබිදීම එම තරගයේදීද දැකගත හැකිවිය. කොදෙව් පන්දු යවන්නන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිලේ පළමු කඩුලු පහ ලකුණු 79 කට දවාගැනීමට සමත්වුවද ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ කඩුලු රකින ක‍්‍රීඩක ඇලෙක්ස් කේරි හයවැනි කඩුල්ලට ගොඩනැගූ 68ක සම්බන්ධතාවත්, නේදන් කුල්ටර්නයිල් පන්දු 60 කින් රැස්කළ ලකුණු 92 ත් හේතුවෙන්  ඕස්ට්‍රේලියාව ලකුණු 288 ක් දක්වා ගමන් කළේය. 

කොදෙව් පිල එම ඉලක්කය හඹායමින් ලකුණු 273 ක් රැස්කළ අතර 45 වැනි ඕවරය අවසන් වනවිට කඩුලු හයක් දැවී ලකුණු 251 ක් රැස්කර සිටියේය. ඒ අනුව කොදෙව් පිලට අවසන් ඕවර පහේදී ලකුණු 38 ක් පමණක් ලබාගැනීමට ඉතිරිව තිබුණි. මිචෙල් ස්ටාක් යැවූ 46 වැනි ඕවරයේ තෙවැනි සහ අවසන් පන්දුවලදී කාලෝස් බ‍්‍රැත්වේට් සහ නායක ජේසන් හෝල්ඩර් දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය. ජේසන් හෝල්ඩර් අවසන් පන්දුව තෙක් රැඳී සිටියේ නම් තරගයේ කථාව මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.

බංග්ලාදේශ පිලද මෙවර තරගාවලියේ වඩාත් සටන්කාරී කණ්ඩායමක් බවට පත්ව තිබේ. බංග්ලාදේශ පිල පසුගිය සතියේ සත්කාරක එංගලන්ත පිල හමුවේ ලැබූ දැවැන්ත පරාජය හේතුවෙන් මඳක් පසු පසට තල්ලු විය. එංගලන්ත පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 386ක් රැස්කිරීමෙන් බංග්ලාදේශ පිල ඇද වැටුණි. එසේ වුවද බංග්ලාදේශ පිල ලකුණු 280 ක් රැස්කළ අතර එහිදී ශකීබ් අල් හසන් රැස්කළ ලකුණු 121 කැපී පෙනුණි. 

ඇෆ්ගනිස්තාන් පිල පසුගිය සතියේ නවසීලන්තය හමුවේ කඩුලු හතක පරාජයක් ලැබීය. නවසීලන්ත වේගපන්දු යවන්නන් වන ජේම්ස් නිෂාම් (31/5) සහ ලොකි ෆර්ගසන් (37/4) හමුවේ ඇෆ්ගනිස්තාන් පිතිකරුවන් අසාර්ථක වීමෙන් ලකුණු 172 කට සීමාවිය. ඇෆ්ගනිස්තානු පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන කඩුලු රකින මොහොමඩ් ශෂාඩ් ආබාධයකට ලක්වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර එය ඇෆ්ගනිස්තානයට දරාගත නොහැකි පාඩුවකි. මොහොමඩ් ශෂාඩ් ආරම්භක පිතිකරුද වන අතර සෑමවිටම ක‍්‍රීඩාංගණය තුළදී පන්දු රකින්නන් ස්ථානගත කිරීම ශෂාඩ්ගේ උපදෙස් මත සිදුවන බව දැකගත හැකිය. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා දෙපිලට ප‍්‍රසාද ලකුණ බැගින් පිරිනැමීය. එම ලකුණු පිරිනැමීමත් සමඟ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්විය.  
තරග 16 ක් අවසන් වනවිට තත්ත්වය මෙසේ වුවද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳව අනාවැකි පළකිරීමට තවත් කාලය අවශ්‍යව තිබේ.    

 යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට...