2019 මැයි 18 වන සෙනසුරාදා

අවිෂ්ක අමාරුවේ දැම්මේ චෝදනා ලැබූ ක්‍රීඩකයෙක්?

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 179

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුගිය සතියේ නැවතත් මුදලට තරග පාවාදීමේ සිද්ධීන්ගෙන් වෙලාගෙන තිබුණි. හිටපු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන අවිෂ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසාට මෙන්ම පරිගණක විලේෂකයකු වන සනත් ජයසුන්දරට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) පසුගිය සතියේ චෝදනා පත‍්‍ර යොමුකර තිබුණි.

ඩුබායිහිදී 2017 වසරේ දෙසැම්බර් මස පැවැති ටී.10 ක‍්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට සම්බන්ධ යැයි නුවන් සොයිසාට මීට පෙරද අයි.සී.සී.ය චෝදනා එල්ල කළ අතර අවිශ්කට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය වේ. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට අල්ලස් දීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් ජයසුන්දරට චෝදනා යොමුකර තිබේ. මෙය ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් අයි.සී.සී. යට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි.

මෙම තිදෙනා අතරින් අවිෂ්ක ගුණවර්ධන මෙම නරාවළට වැටීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දැඩි පාඩුවකි. අවිෂ්කට චෝදනා යොමුවීමත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත්තේය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තීරණයන්ට එරෙහිව තමන් අධිකරණයට යන බව අවිශ්ක පසුගිය සඳුදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. 

නුවන් සොයිසාද තම සේවය අත්හිටුවීම බලරහිත කරන ලෙස ඉල්ලමින් පසුගිය සතියේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. අවිෂ්ක ගුණවර්ධන යනු මෑතකාලයේ ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පුහුණුකරුවන් අතරින් බොහෝ අංශවලින් ඉදිරියෙන් සිටි පුහුණුකරුවෙකි. අවිෂ්ක බොහෝ අවස්ථාවල දස්කම් දක්වන ක‍්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටි බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනකුගේ මතයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දස්කම් දක්වන ක‍්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ගෙන ඒමට සනත් ජයසූරිය තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ අවිෂ්ක ගුණවර්ධන ගැටුම් ඇති කරගත් බවද බොහෝ දෙනා දන්නා කරැණකි. අවිෂ්ක ක‍්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව තාත්තාගේ අම්මාගේ එසේ නැත්නම් දේශපාලනඥයන්ගේ රැස්පෙන්වා කණ්ඩායමට ඒමට දඟලන ඇතැම් ක‍්‍රීඩකයන්ට එරෙහිව ද ඉදිරියට පැමිණියේය.

“මෙම චෝදනාවට පදනම් වන්නේ තනි ක‍්‍රීඩකයකු ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවට ඉදිරිපත් කළ ඊනියා චෝදනාවක්. ඔහු නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැතිවීමත් විනය හේතූන් නිසා කීපවිටකදී කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් මට සිදුවුණා. මෙම පදනම් විරහිත චෝදනාවට එය හේතුවී තිබෙනවා” යැයි අවිෂ්ක මාධ්‍ය හමුවේදී පැවසීය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් හෙළි කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකු අවිෂ්ක සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කර ඇති බව වාර්තා වේ. 

මෙම ක‍්‍රීඩකයා අන්කිසිවකු නොවන අතර ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල නියෝජනය කරන කාලයේ සිට විනය විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් නම් දරා සිටින්නෙකි. ගුවනින් සහ මාර්ගයේ යන වාහන සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත් මෙම ක‍්‍රීඩකයා සිය පියාගේ සහ ඥාතීන්ගේ සම්බන්ධතා මාර්ගයෙන් ජාතික කණ්ඩායම්වලට ඒමට උත්සහ දරන්නේ අද ඊයක සිට නොවේ. 

අදාළ ක‍්‍රීඩකයා බොරු චෝදනාවක් කර අවිෂ්ක ගුණවර්ධන වැනි පුහුණුකරුවකුගේ අනාගතය විනාශ කිරීමට උත්සහ කළේ නම් ඔහු පිළිබඳවද කටයුතු කිරීමේ වගකීම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට තිබේ. මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවිශ්ක ඇතුළු තිදෙනාට දින 14 ක කාලයක් ලැබී තිබේ. අවිෂ්ක මාධ්‍ය හමුවේදී පැවැසුවේ තමන්ට කරුණු වාර්තා නොකිරීම පිළිබඳව පමණක් චෝදනා එල්ල වී ඇති බවත් එම සියලූම චෝදනාවලට තමා නිර්දෝෂි බවත්ය. අවිෂ්ක අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශයට නිසියාකාරයට කරුණු දැක්වුහොත් චෝදනාවෙන් නිදහස්වීමේ වැඩි ඉඩක් තිබේ. 
  
 වරකාගොඩ ගමගේ