2019 මැයි 18 වන සෙනසුරාදා

අයි. පී. එල්. ඇතුළේ ශ්‍රී ලංකාවේ නම රැන්දූ මහේල සහ මාලිංග

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 163

මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කළ සහ ලසිත් මාලිංග ප‍්‍රධාන වේගපන්දු යවන්නකු ලෙස ක‍්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිල පසුගිය ඉරිදා මෙවර අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. මහේල ජයවර්ධනගේ පුහුණුකාර උපදෙස් යටතේ මුම්බායි පිල ශූරතාව දිනූ දෙවැනි අවස්ථාව මෙය වීම කැපී පෙනේ.
ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්.) මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයකු ලෙස වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පමණක් සහභාගි විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන මහේල ජයවර්ධන පුහුණුකරුවෙක් ලෙස මෙවර අයි.පී.එල්. තරගාවලියට සක‍්‍රීයව දායක විය.

විදේශිය ක‍්‍රීඩකයන් 50කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ලසිත් මාලිංග පමණක් සහභාගි වූ අතර ලෝක ක‍්‍රිකට් පිටියට තවමත් ආගන්තුකයන් වන ඇෆ්ගනිස්තානයෙන් ද ක‍්‍රීඩකයන් තිදෙනෙක් සහභාගි වූහ. අයි.පී.එල්. වෙන්දේසියේදී ශ්‍රී ලාංකිකයන් සැහැල්ලුවට ලක්කළද ඉන්දීය රුපියල් කෝටි දෙකක වටිනාකමක් ලැබූ ලසිත් මාලිංග නොවන්නට මුම්බායි පිලට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවීමට ඉඩ තිබිණි. මාලිංගගේ දස්කම් ඉදිරියේදී තවත් ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයන්ට අයි.පී.එල්. අවස්ථාව උදාකරදීමට ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන්ගේ ඇස් පෑදීමට ප‍්‍රස්තූතයක් බවට පත්වේ යැයි බලාපොරොත්තු විය හැකිය. 

අවසන් මහ තරගයේ අවසන් ඕවරයට චෙන්නායි පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු නවයක් පමණක් රැස්කිරීමට සිදුවූ අතර මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මාගේ විශ්වාසවන්තම පන්දු යවන්නා බවට ලසිත් මාලිංග පත්විය. රෝහිත් ශර්මා තරගයෙන් පසුව පවසා තිබුණේ ලසිත් මාලිංග සැබෑ ශූරයකු බවත් ඔහු පිළිබඳව තමන් තුළ විශ්වාසයක් පැවැති බවත්ය. එහිදී රෝහිත් ශර්මා කිසිදු පැකිළීමකින් තොරව මාලිංගට පන්දුව බාරදුන් අතර මාලිංග වගකීම මනාව ඉටුකරමින් ඕවරය ලකුණු අටකට අවසන් කොට මුම්බායි පිලට ලකුණක තියුණු ජයක් හිමිකර දුන්නේය.

අයි.පී.එල්. තරගාවලියේ අවසන්  ඕවරයේදී ලකුණු නවයක් නැවැත්වීම අති විශිෂ්ට පන්දු යැවීමකි. මාලිංග එහිදී වේගය අඩාල කළ පන්දු ඔස්සේ චෙන්නායි පිතිකරුවන් පාලනය කළ ආකාරය දැකගත හැකිවිය. මාලිංගගේ දස්කම් අයි.පී.එල්. තරගාවලියට සීමා නොවී ශ්‍රී ලංකා කණ්ඩායමටද ලැබෙන තෙක් ශ්‍රී ලංකා ක‍්‍රීඩාලෝලීහු බලාසිටිති.  
මෙවර තරගාවලිය පුරාම මුම්බායි පිලේ සාර්ථකත්වය පිටුපස මහේල ජයවර්ධන දැවැන්ත හස්තයක් බවට පත්වූ බව නොරහසකි. මහේල සැලසුම්සහගත ක‍්‍රිකට් පුස්තකාලයක් බව මෙහිදී නැවතත් ප‍්‍රදර්ශනය කළේය.

 භාසුර