2019 මැයි 18 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිලට පුහුණු තරග දෙක තීරණාත්මකයි

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 83

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තයට එරෙහිව ක‍්‍රීඩා කරන එක්දින තරග දෙකේ පළමු තරගයට ඊයේ (18) පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගි වන තරග හතරෙන් පළමු තරගය මෙය වන අතර එයට පුහුණු තරග දෙකක්ද ඇතුළත් වේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතය ඊට පෙර තරග හතරකට සහභාගි වන අතර මෙය එහි පළමුවැන්න වේ. 

මෙම සංචිතයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයන් කීපදෙනකුම වසර ගණනාවකින් එක්දින ජාත්‍යන්තර තරගයකට ක‍්‍රීඩා කර නොමැත. මෙම තත්ත්වය හමුවේ ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග දෙක සහ දකුණු අප‍්‍රිකාවට සහ ඕස්ට්‍රෙිලියාවට එරෙහි  පුහුණු තරග දෙක ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වී තිබේ. කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අතර සම්බන්ධතාව ගොඩනඟා ගැනීමට තරගකාරිත්වයෙන් යුත් තරග වඩාත් ප‍්‍රයෝජනවත් වේ. 

ශ්‍රී ලංකා පිල මේ වනවිට දින අටක පමණ කාලයක් එංගලන්තයේදී පුහුණුවීම්වල නිරතව සිටින අතර එහිදී එංගලන්ත ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් සමඟ ද පුහුණු සැසිවලට සහභාගි වී තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු සුළු ආබාධයකට ලක්ව සිටින බවට එංගලන්තයෙන් ලැබෙන නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. කෙසේ වෙතත් එම ආබාධය මොකක්ද එහි තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව නිල නොවන හෝ තොරතුරැ දැනගන්නට නොමැත. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ එවැනි දෙයක් පිළිබඳව මේ දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති බවයි. අවිශ්ක ආබාධයකට ලක්වූවද කණ්ඩායමට එතරම් බලපෑමක් නොවේ. දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවන් ලෙස සංචිතයේ රැඳී සිටිති. 

ශ‍්‍රී ලංකා පිලේ ආරම්භ පිතිකරුවන් යුගළ මෙම තරග හතරේ සාර්ථකත්වය මත තීරණය කිරීමට නියමිතය. නායක දිමුත් කරුණාරත්න තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවසුවේ තමන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. අවිශ්ක සහ දිමුත් ආරම්භක පිතිකරුවන් ලෙස සාර්ථක වුවහොත් ප‍්‍රශ්නයක් නොවන අතර එසේ නොවුණහොත් කුසල් පෙරේරා හෝ තිරිමාන්න අත්හදා බැලීමට සිදුවේ. එක්දින ක‍්‍රිකට් පිටියේ වර්තමාන තරගකාරිත්වය දෙස බැලීමේදී කුසල් පෙරේරා වැනි ප‍්‍රවේගකාරී පිතකිරුවකු ඉනිම ඇරඹුවහොත් වැඩි වාසියක් අත්කරගැනීමේ හැකියාව තිබේ. 

ස්කොට්ලන්ත තරග දෙකේදී සහ පුහුණු තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම සකස් කර නොගතහොත් උඩින් පාත්වූ ක‍්‍රීඩකයන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලිය තුළ කණ්ඩායම සකස්කර ගැනීමේ අත්හදාබැලීම් කරනවාට සැකයක් නැත. 

 යොහාන් භාසුර