2019 මැයි 04 වන සෙනසුරාදා

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

එංගලන්තයේදී ලබන 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් (අයි.සී.සී.) ලිඛිත ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘දේශය’ට පැවසීය. ශ්‍රී ලංකාව තුළ පසුගියදා ක‍්‍රිස්තියානි දේවස්ථානවල සහ තරු පංතියේ හෝටල්වල සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධීන් සහ අනතුරුව ඇතිවූ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම ඉල්ලීම කර තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉන් නොනැවතී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරක්‍ෂක උපදේශකයකු ද සහභාගි කරවීමට පසුගිය සතිය වනවිට අදහස් කර තිබුණි. කෙසේ වෙතත් මෙම සටහන තබන මොහොත වනවිට සහභාගී වන නිලධාරියා කවුද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොතිබුණි. 

“අයි.සී.සී. එක විශේෂ ආරක්‍ෂාවක් දෙන්නේ තරග තියෙන අවස්ථාවලදී පමණයි. අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා අපේ කණ්ඩායමට අඛණ්ඩව විශේෂ ආරක්‍ෂාවක් දෙන්න කියලා. අපේ කණ්ඩායම 6 වැනිදා එංගලන්තය බලා පිටත්ව යනවා. එතැන් සිට පුහුණුවීම් කරනවා. නමුත් එම කාලය තුළ විශේෂ ආරක්‍ෂාවක් ලැබෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල පැවැති තත්ත්වය දෙස බැලීමේදී අපේ කණ්ඩායමට විශේෂ ආරක්‍ෂාවක් ලැබෙන්න  ඕනේ” යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක ප‍්‍රධානියා කණ්ඩායම සමඟ යොමු කිරීමට මේ වනවිට අදහස් කර ඇති බවයි. “ක‍්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක ප‍්‍රධානියා ගුවන් හමුදාවේ සේවය කළ නිලධාරියෙක්. ඔහුට ආරක්‍ෂාව පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. නමුත් අපි ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නෑ” යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ලෝක කුසලාන තරගාවලියේදී සහභාගී වන කණ්ඩායම් දහයම ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්ක වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ හේතුවෙන් කණ්ඩායම් දහයටම උපරිම ආරක්‍ෂාව සැපයීම අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වගකීමක් බවට පත්ව තිබේ. පාකිස්තානු වයස 19න් පහළ ක‍්‍රිකට් පිල ශ්‍රී ලංකාවේදී පසුගිය මස 30 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග සංචාරය බෝම්බ සිද්ධියත් සමඟ අත්හිටුවීමට සිදුවිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වය මත පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය සිය යොවුන් ක‍්‍රිකට් පිල ශ්‍රී ලංකාවට ඒවීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ.  

 යොහාන් භාසුර