2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මාලිංග නිහඬයි!

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 231

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ නායකත්වයෙන් තමන් ඉවත් කළහොත් කණ්ඩායමෙන් ඉවත්වන බවට ලසිත් මාලිංග පවසා තිබුණද නායකත්වයෙන් ඉවත් කර සතියකට අධික කාලයක් ගතවුවද මාලිංග එම තීරණය පිළිබඳව කිසිවක් ප‍්‍රකාශ කර නොතිබුණි.

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින මාලිංග මේ දක්වා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වනවාද එසේත් නැත්නම් කණ්ඩායමෙන් ඉවත්වන්නේද යන්න පිළිබඳව මේ දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හෝ නිල වශයෙන් දැනුම්දී නැත. ක‍්‍රීඩකයකු සංචිතයට ඇතුළත් කළ පසු ඔහු සංචාරයට සහභාගි වනවාද නැද්ද යන පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත. එය එසේ වුවද නායකත්වයෙන් ඉවත් කළහොත් කණ්ඩායමෙන් ඉවත් වන බවට මාලිංග කළේ යැයි කියන ප‍්‍රකාශය සමඟ ඉහත අවශ්‍යතාව හටගෙන තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවකුව සිටියදී ඉවත් කළ පුද්ගලයකු රූපවාහිනී සකච්ඡාවකදී පවසා තිබුණේ මාලිංගව නායකත්වයෙන් ඉවත් කළහොත් පසු දිනම මාලිංග කණ්ඩායමෙන් ඉවත්වනු ඇති බවයි. මාලිංග නායකත්වයෙන් ඉවත්කිරීමෙන් පසුව ඔහු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද යැයි කියන ප‍්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාලවල ප‍්‍රචාරය වූ අතර පසුව ඇතැම් මාධ්‍ය පැවසුවේ එය තමන් මුදාහරින ලද නිවේදනයක් නොවන බව මාලිංග පැවසූ බවයි. 
මාලිංග ක‍්‍රමක‍්‍රමයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන බවද ඇතැම්හු පවසති. ඒ අනුව මාලිංග ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගෙන තවදුරටත් විස්සයි20 ක‍්‍රීඩා කිරීමට අදහස් කර සිටිනවා විය හැකිය. මාලිංග 2020 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට සැලසුම්කර තිබෙනවාද විය හැකිය. මාලිංග තවදුරටත් විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කරනවාද යන්න තේරීම් කමිටුව පවා නොදන්නවා ඇත. මාලිංග නායකත්වයෙන් ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි ක‍්‍රීඩකයන් බොහෝමයක් විස්සයි20 පිලද නියෝජනය කරති. ඒ හේතුවෙන් මාලිංගට විස්සයි20 පිලේ නායකත්වය ලැබීමද සැකසහිතය.

අයි.පී.එල්. තරගාවලිය ලබන මැයි මස 12 වැනිදා අවසන් වීමට නියමිත අතර මාලිංගට තරගාවලිය අවසන් වීම දක්වා සහභාගි වීමේ අවස්ථාව තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මැයි මස 6 වැනිදා ස්කොට්ලන්තය බලාපිටත්ව යෑමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා පිල එක්දින තරග දෙකකට සහභාගි වීමට නියමිතය. ස්කොට්ලන්ත පිලට එරෙහිව තරග දෙක මැයි මස 18 සහ 21 දෙදින පැවැත්වේ. ඉන්පසුව ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙක මැයි 24 දකුණු අප‍්‍රිකාවට එරෙහිවද, මැයි 27 ඕස්ටේ‍්‍රලියාවට එරෙහිවද, පැවැත්වීමට නියමිතය. මාලිංග අයි.පී.එල්. අවසන් මහා තරගයට සහභාගි වුවහොත් ඉන්දියාවේ සිට ස්කොට්ලන්තයට පැමිණිය යුතුය.

I වරකාගොඩ ගමගේ