2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය හරිද?

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 211

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව ඇතැම් ක‍්‍රීඩකයන්ට වෙනත් හැන්දකින් බෙදා ඇති බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී. එම චෝදනාවට අමතරව ඇතැමුන්ගේ සෘජු මැදිහත්වීමට ඇතැම් ක‍්‍රීඩකයන් ඇතුළත් කළ බවටද චෝදනා එල්ල වේ. 

පිට දඟපන්දු යවන අකිල ධනංජය සහ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සංචිතයෙන් ඉවත් කිරීම මෙහිදී බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව්ව සකස් කරගැනීමෙන් පසුව පැරැණි ආකාරයට පන්දු යැවිය නොහැකි බවයි. කෙසේ වෙතත් සභාපතිවරයාගේ එම ප‍්‍රකාශය පිළිගත නොහැක. අකිල වැනි පන්දු යවන්නකුගේ හැකියාව පළාත් තරගාවලියේ තරග තුනකදී නිරීක්‍ෂණය කර සංචිතයෙන් ඉවත් කිරීම අනුමත කළ නොහැක.

“අකිල පන්දු යැවීමේ ඉරියව්ව සකස් කරගැනීමෙන් පසුව පැරැණි විදියට පන්දු යවන්නේ නෑ. ඇත්තටම කිව්වොත් පැරැණි රිද්මය නෑ. අපි ඒ පිළිබඳව අවධානය යොමු කළා. තේරීම් කමිටුව හැටියට අපි ධනංජය සහ අකිල පිළිබඳව අවධානය යොමු කළා. අකිලට වඩා ඉදිරියෙන් ධනංජය ඉන්න බව අපිට පෙනී ගියා. අකිල පළාත් තරගාවලියේ අවසන් තරගයේදී ද දස්කම් දැක්වූයේ නෑ. ධනංජය පන්දු 26 කින් කඩුල්ලක් දවාගන්න විට අකිල පන්දු 50 කින් කඩුල්ලක් දවාගන්නවා. අපිට පිට දඟපන්දු යවන්නන් දෙදෙනකු අවශ්‍ය නෑ.”

අකිල පළාත් තරගාවලියේ සහභාගි වූ තරග තුනේදී කඩුලු හයක් දවාගත් අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ගාල්ල පිලට එරෙහිව කඩුලු පහක්ද දවාගත්තේය. ඒ අනුව අකිල දස්කම් දක්වා නොමැති බවට තේරීම් කමිටු සභාපතිවරයාගේ ප‍්‍රකාශය පිළිගත නොහැක. අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව් සකස් කරගැනීමට පෙර 2018 වසරේ අන්තර්ජාතික තරග 15 ක ඉනිම 14 කදී කඩුලු 30ක් දවාගැනීමට සමත්ව සිටියේය. අකිල මෙම වසරේ තරග හතරකදී කඩුලු දෙකක් දවාගෙන තිබුණි.
අකිල වෙනුවට මෙම සංචිතයට භාග පිට දඟපන්දු යවන්නකු වන ධනංජය ද සිල්වා සංචිතයට ඇතුළත් කිරීම මෙහිදී කැපී පෙනේ. ධනංජය ද සිල්වා ලකුණු රැස්කරන විට පිතිකරුවකු ලෙසද, කඩුලු දවාගන්නා විට පන්දු යවන්නකු ලෙසද, තෝරාගන්නා තත්ත්වයක් පසුගිය කාලය පුරාම දැකිය හැකිවිය. එය යථාර්ථයක් බවට පත්කරමින් මෙවර ධනංජය ද සිල්වා විශේෂඥ පිට දඟපන්දු යවන්නකු බවට පත්කර තිබේ.

අකිල ධනංජය සංචිතයෙන් එළියට දැමූ තේරීම් කමිටුව ආබාධයකට ලක්ව සිට පැමිණි දකුණතින් පා දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට කැඳවා තිබේ. වැන්ඩසේ එක්දින ජාත්‍යන්තර තරග 11 කදී කඩුලු 10ක් පමණක් දවාගත් ක‍්‍රීඩකයෙකි. අකිල ධනංජය සංචිතයෙන් ඉවත්කිරීම පිළිබඳව ‘දේශය’ට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ අකිලට පැරුණි ඉරියව්වෙන් පන්දු යවා විනිසුරුවන් පැමිණිළි කළහොත් ඒ සඳහා ක‍්‍රීඩකයකු ආදේශ කළ නොහැකි බවයි. “මම ඇහුවා අකිලට පැරැණි විදියට පන්දු යවන්න බැරිද කියලා. නමුත් ඒක අවදානමක්” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

වැන්ඩසේ කණ්ඩායමට ඇතුළත් වීම සම්බන්ධයෙන්ද විවිධ කථා පැතිර යයි. ඒවා කටකථා පමණක් ද එසේ නැත්නම් ඒවායේ සත්‍යතාවක් තිබේද නැද්ද යන්න පිළිබඳව අපිට කිව නොහැක. දකුණතින් පා දඟ පන්දු යවන ජීවන් මෙන්ඩිස් වසර හතරකට වැඩි කාලයකට පසුව ලෝක කුසලාන සංචිතයට උඩින් පාත්වීමද මෙහිදී කැපී පෙනේ.  

තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ දිනේෂ් චන්දිමාල්ට මෙම සංචිතයේ ස්ථානයක් වෙන්කළ නොහැකි බවයි. අසන්ත ද මෙල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් තේරීම් කමිටුව පත්වීමෙන් පසුව ළහිරු තිරිමාන්න කණ්ඩායමට ගෙන ඒමට කටයුතු කළ අතර ලෝක කුසලාන සංචිතය ප‍්‍රකාශයට පත්කළ විශේෂ මාධ්‍ය හමුවේදීද පැවසුවේ කිසියම් හේතුවක් උඩ තිරිමාන්නට පසුගිය කාලයේ අවස්ථාව නොලැබුණු බවයි. චන්දිමාල් සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ එවැනි අදහසක් නොමැති අතර චන්දිමාල්ගේ අත්දැකීම් පිළිබඳව හෝ අවධානයක් යොමුකර නැත.

ලෝක කුසලාන සංචිතය නම් කිරීමේදී අත්දැකීම් වඩාත් වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. එහිදී ළහිරු තිරිමාන්න සහ අවිෂ්ක ප‍්‍රනාන්දුට වඩා දිනේෂ් චන්දිමාල් ලෝක ක‍්‍රිකට් පිටියේ නම් දිනා සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. චන්දිමාල් යනු එක්දින ජාත්‍යන්තර තරග 146 කදී ලකුණු 3599 ක් රැස්කරමින් 32.42 ක සාමාන්‍යයක් පවත්වාගෙන සිටින ක‍්‍රීඩකයෙකි. 

ආරම්භක පිතිකරු ලෙස සංචිතයට ඇතුළත්ව සිටින අවිෂ්ක ප‍්‍රනාන්දු එක්දින ජාත්‍යන්තර තරග පහකට පමණක් සහභාගි වී ලකුණු 71 ක් පමණක් රැස්කර සිටින අතර එහි සාමාන්‍යය 14.20 කි. දිනේෂ් චන්දිමාල් අතිරේක ලැයිස්තුවටත් ඇතුළත්ව නොමැති තත්ත්වයක් තුළ අවිෂ්ක ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වීම හාස්‍යය දනවන තත්ත්වයකි. මිලින්ද සිරිවර්ධන සංචිතයට පැමිණිම පිළිබඳව ද විවිධ අදහස් තිබේ. කෙසේ වෙතත් තේරිම් කමිටුව කන්න ඕන වුණාම කබරගොයා තලගොයා බවට පත්කරගෙන ඇති බව නම් පැහැදිලිය. 

ක‍්‍රීඩා අමාත්‍යවරයාට මෙම සංචිතයට අත්සන තැබීමට පෙර අදහස් විමසීමට අවස්ථාව තිබුණි. එය එසේ වුවද මේ දක්වා ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඇමතිවරැන්ගෙන් එවැනි වගකීමක් ඉටුවී නැති අතර අත්සන පමණක් යොදයි. මෙම සංචිතයේ වෙනසක් කරන්නේ නම් මැයි මස 23 වැනිදා දක්වා කාලය තිබේ. ශ්‍රී ලංකාව එම කාලයෙන් ප‍්‍රයෝජනයක් ගන්නේ දැයි අපි බලා සිටිමු.    

I විශේෂ ලියුම්කරුවකු විසිනි