2019 මාර්තු 30 වන සෙනසුරාදා

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය “කළු කඩයක්” වෙලා!

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 157

ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය වන කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණය ‘කළු කඩයක’ තත්ත්වයට පත්ව තිබේ. මෙම ක‍්‍රීඩාංගණයේ කොළඹ ප‍්‍රධාන පාසලකට හෝ දරාගත නොහැකි තරමේ අයකිරීමක් කරන බව දැනගන්නට තිබේ. ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ මහා ක‍්‍රිකට් තරගයක් පැවැත්වීම බොහෝ පාසල් දැඩි ගෞරවයක් ලෙස සළකන අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ තරගයකට සහභාගී වීම ක‍්‍රීඩකයන්ද විශේෂ අවස්ථාවක් ලෙස සලකයි. 

මෙම ක‍්‍රීඩාංගණය 2016 වසර දක්වා සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පාලනය වූ අතර එය එම වසරේ නොවැම්බර් මස 11 වැනිදා සිට වසර 30ක කාලයක් දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට බදු දෙනු ලැබීය. එහි වසර බදු මුදල රුපියල් 250,000කි. ක‍්‍රීඩාව ගමට ගෙන යන බවද ක‍්‍රීඩකයන්ට සියලු පහසුකම් ලබාදෙන බවද පවසමින් පරිපාලනයට පැමිණි ක‍්‍රිකට් ආයතනයේ පාලකයන් පාසල්වලටද ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණය ‘කළු කඩ’ මිලටම ලබාදෙන බවට චෝදනා එල්ල වේ. මෙවැනි ක‍්‍රීඩාංගණයක් ක‍්‍රීඩා සමාජයකට හෝ වෙනත් ආයතනයකට ලබාදෙන විට ඒ සඳහා විශාල මුදල් අය කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ වුවද පාසලකට වෙන් කිරීමේදී සහය ලබාදිය යුතුය. 

එය එසේ වුවද මෙම ක‍්‍රීඩාංගණය පාසලකට සහ ක‍්‍රීඩා සමාජයකට වෙනසකින් තොරව මුදල් අයකරන බවට චෝදනා එල්ල වේ. දෙදින මහා ක‍්‍රිකට් තරගයක් සඳහා ප‍්‍රභූ ප්‍රේක්‍ෂකාගාර තොරව රුපියල් 3,60,000 ක මුදලක් ගෙවීමට සිදුවන බව පාසල් පවසයි. ක‍්‍රීඩාංගණය සඳහා සාමාන්‍ය දිනක ගාස්තුව රුපියල් 2,40,000 ක් බව වාර්තා වේ. ඇතැම් මහා ක‍්‍රිකට් තරගවලදී ප්‍රේක්‍ෂකාගාර කීපයක් පමණක් පාවිච්චි කළද සියලුම ප්‍රේක්‍ෂකාගාරවලට මුදල් අය කරන බවද පිරිසිදු කිරීමට යැයි පවසමින් විශාල මුදලක් ලබාගන්නා බවද දැනගන්නට තිබේ.

තරගයට සති දෙකකට පෙර රුපියල් ලක්‍ෂ 5,00,000 ක මුදල් තැම්පතුවත් කිරීම අනිවාර්ය වේ. පුටුවකට හානියක් වුවහොත් රුපියල් 6,750 ක මුදලක් වන්දියක් වශයෙන් ගෙවිය යුතු බවද වාර්තා වේ. මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව ඇත්තේ පොලීසියට සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට යැයි පවසමින් දිනකට කෑම පාර්සල් 100ක් පමණ ලබාදිය යුතු වීමය. මහා ක‍්‍රිකට් තරගයක් අවස්ථාවේ පොලිස් නිලධාරීන් 20ක් පමණ සේවය නිරත වුවද පොලිස් නිලධාරීන් 50කට කෑම ඉල්ලා සිටින බව වාර්තා වේ. ක්‍රීඩාංගණ සේවකයන්ට පාසල්වලින් කෑම ලබාගැනීම කොතරම් සාධාරණද යන්න මෙහිදී අවධානය යොමු කළ යුතුය.

කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ පාලන අධිකාරියේ මෙම මාෆියාව පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුය. පාසල්වලට ක්‍රීඩාංගණය ලබාදීමේදී යම්කිසි සහනයක් ලබාදීමට ක‍්‍රිකට් බලධාරීන් වගබලාගත යුතුය. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි