2025 ජුලි 12 වන සෙනසුරාදා

අපේ කොල්ලෝ වැඩේ හරියට කළා

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:04 60

“මෙම ප්‍රතිඵලය ගන්න ළමයි ටික ගොඩක් මහන්සි වුණා. මේක ඒ මහන්සියේ සහ කැපවීමේ ප්‍රතිඵලයක්. දැන් ඉන්න තැනින් ඉදිරියට යන්න අපිට ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් ඒක අභියෝගයක්,” යැයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ‘දේශය’ ට පැවසීය.

බංග්ලාදේශයට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ පළමු කණ්ඩායම් තුන අතරට පැමිණීමට චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති.

කොළඹ දී පැවැති පළමු එක්දින තරගයෙන් ජය ගැනීමෙන් පසුව නායක චරිත් අසලංක පැවසුවේද එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු කණ්ඩායම් තුන අතරට පැමිණීම ඉලක්කය බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පසුගිය වසරේ (2024) ජූලි මස තාවකාලික පුහුණුකරු ලෙස පත්වන විට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ 9 වැනි ස්ථානයේ පසුවිය. ඉන් පසුව සනත් ඔක්තෝබර් මස ස්ථිර ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසුවූ අතර දෙවැනි තරගයේදී ලැබූ අනපේක්ෂිත පරාජයත් සමඟ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානය දක්වා පහතට වැටුණි.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේදී 2027 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලැබීමට නම් එම වසරේ මාර්තු මස 31 වැනිදා වන විට එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු අට දෙනා අතර සිටිය යුතුය. 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ රැඳී සිටීමට ඇති හැකියාව පිළිබඳව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.

“අපි සියලු‍ දෙනාම දන්නවා ශ්‍රේණිගත කිරීමේ පළමු අට දෙනා අතර නොසිටීම නිසා අපිට ශූරයන්ගේ කුසලාන තරගාවලියක් අහිමි වුණා. එවැනි තත්ත්වයක තිබුණු කණ්ඩායමක් වසරක පමණ කාලයක් තුළ සිවුවැනි ස්ථානයට ගේනවා කියන්නේ පහසු දෙයක් නෙමෙයි. නමුත් අපිට ඒක කරන්න පුළුවන් වුණා. කෙටි කාලයකදී සිවුවැනි ස්ථානය දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථානය රැකගැනීමේ හැකියාව තිබෙනවා. 

නමුත් ඒක නිකම්ම වෙන්නේ නෑ. අපි කරගෙන ගිය වැඩ දිගටම කරන්න ඕනේ. ඉදිරියට කළ යුතු දේවල් සැලසුම් කරලා තියෙන්නේ. ඒවා නිවැරදිව කරගෙන ගියොත් අනාගතයේ ප්‍රශ්නයක් නෑ. අපිට සම්පත් තියෙනවා. ඒකෙ ගැටලු‍වක් නෑ. නිවැරදිව කළමනාකරණය කළහොත් ගැටලු‍වක් වෙන්නේ නෑ,” යැයි ජයසූරිය කීය. වසරක පමණ කාලයක් තුළ සාර්ථකත්වය ළගා කරගැනීමට හැකිවූ රහස ද ජයසූරිය මහතා මෙසේ දිගහැරියේය.

“මට වැඩේ හරියට ඕනේ. අපේ ක්‍රීඩකයන් මේ දක්වා ඒ විදිහට වැඩේ කළා. මම කළේ අපේ ක්‍රීඩකයන්ට තේරෙන භාෂාවෙන් තේරෙන විදියට කියලා දුන්න එකයි. මාත් එක්ක වැඩ කරන විට වැඩේ හරියට තියෙන්න ඕනේ.

මම දොඩම්ගොඩ බදාගත්තා වගේ හැමදේම මම කරන්න ගියේ නෑ. කාර්ය මණ්ඩලයේ සියලු‍ම දෙනාට වැඩ බෙදා දීලා තියෙනවා. ඒ අය වැඩේ කරන්න ඕනේ. නැත්නම් මාත් එක්ක වැඩ කරන්න බෑ,” යැයි සනත් ජයසූරිය මහතා පැවසීය.
සනත් ජයසූරිය පුහුණුකරුවෙක් ලෙස මීට පෙර වැඩ කර නොමැති යැයි එල්ල වූ විවේචන පිළිබඳව කළ විමසුමේදී මෙසේ පැවසීය.

“මම ඒවා හිතුවා නම් මේ වැඩේ කරන්න ලැබෙන්නේ නෑ. දැන් මම වැඩේ කරලා අනාගතයට වැඩ කරන්න අවශ්‍ය පසුබිමත් හදලා තියෙනවා. මේක මම තනියෙන් කරපු දෙයක් නෙමෙයි. මේ සාර්ථකත්වය පිටුපස විශාල පිරිසක් ඉන්නවා,” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

• සටහන: යොහාන් භාසුර

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:04