2024 ජුනි 08 වන සෙනසුරාදා

ඉලක්කය වැරදුණු මැච් එක

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 135

“අපි ඒක හඳුනා ගත්තේ පස්සේ. ඉලක්කය වෙනස් කරලා ලකුණු 125 ක් 130ක් ට්‍රයි කළා නම් ඒක වෙන ග්‍රවුන්ඩ් එකක ලකුණු 180ට වඩා වැඩි කියලා තේරෙනවා. ටීම් එකක් විදියට මැච් එක යන අවස්ථාවේදී අදහස් හුවමාරු කරන්න ඕනෑ. ඒක වුණේ නෑ.

අපේ ඔළුවෙ වැඩ කළේ ලකුණු 165 කට වැඩියෙන්. මම ඇතුළුව පිතිකරුවන් කතා කළා නම් 130 ක් ගහන්න තිබුණා” යැයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමෙන් පසුව නායක වනිඳු හසරංග පැවසීය.

වනිඳුගේ එම ප්‍රකාශය බොහෝ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවේචනයට ලක්ව තිබේ. විස්සයි20 තරගයකදී ලකුණු 77 ක් රැස්කර පරාජයට පත්වීමෙන් පසුව වනිඳු හසරංග වැනි ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ අංක එකේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයා එවැනි ප්‍රකාශයක් කිරීම පිළිගත නොහැකි බව ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෝ ද පැවසූහ.

මෙම කණ්ඩායම සමඟ සිටින මහේල ජයවර්ධන ඇතුළු උපදේශකයන්ගෙන් හෝ වනිඳු පවසන ලකුණු 125 ක හෝ 130 ක ඉලක්කය වෙත යෑමට උපදෙස් නොලැබීම ශ්‍රී ලංකාවේ අවාසනාවයි.  

තවද කාසියේ වාසිය ලබා නොදන්නා අලුත්ම තණතීcවක පන්දුවට පහරදීම තෝරාගැනීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වේ.

“අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින්, ඒකයි අපි ටොස් එක දිනලා ලකුණු යම්කිසි ප්‍රමාණයක් බෝඩ් එකට දාලා එයාලට ප්‍රෙෂර් එක දෙන්න තීරණය කළේ. අපි දෙවැනි වර බෝල් කරලා ඔවුන්ට කොච්චර පීඩනයක් දුන්න ද කියලා දැක්කනේ. පන්දුවට පහර දීමට ගත් තීරණයේ වැරුද්දට වඩා අපි දකින්නේ අපි ගත්ත ඉලක්කයේ වැරුද්දක්. විකට් එක එච්චර අමාරු වෙලත් ටීම් එකක් විදියට ලොකු ඉලක්කයක් ඔළුවේ තිබුණා” යැයි එයට පිළිතුරු දෙමින් වනිඳු පැවසීය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ‘ඩී’ කාණ්ඩයේ වඩාත් හොඳම කණ්ඩායම් දෙක අතර තරගය යැයි අමුතුවෙන් කිව යුතු නැත. ඒ හේතුවෙන් මෙම පරාජය ශ්‍රී ලංකා පිලට ‘සුපිරි අට’ වටයට ඒමට එතරම් බාධාවක් නොවනු ඇතැයි විශ්වාස කළ හැකිය.

බංග්ලාදේශයට එරෙහිව තරගය ඊයේ (8) පැවැත්වීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකාව ‘සුපිරි අට’ වටයට ඒමට නම් එම තරගය ජය ලැබීම අනිවාර්යය. ශ්‍රී ලංකා පිල පළමු වටයේ ඉතිරි තරග තුනම ජය ලැබුවහොත් ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීම එතරම් ආමාරු නොවනු ඇත.  

“බංග්ලාදේශයට එරෙහිව තරගය 

අනිවාර් යෙන්ම තීරණාත්මක තරගයක්, ඒ වගේම තරග තුනම තීරණාත්මකයි. අපේ පළමු ඉලක්කය ඊළඟ වටයට සුදුසුකම් ලැබීමයි. ඉන් පසුව ඉදිරිය සැලසුම් කළ හැකියි.” යැයි ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් පසුගිය බ්‍රහස්පතින්දා පැවසීය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමෙරිකාවේදී ලැබෙන පහසුකම් පිළිබඳව විවේචන එල්ල වෙමින් තිබේ. ගුවන්යානා පැය ගණනින් ප්‍රමාද වීම, ක්‍රීඩාංගණය සහ ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටලය අතර විශාල දුරක් තිබීම යන දුර්වලතා හේතුවෙන් පුහුණු සැසි කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවීම ඒ අතර වේ.

පුහුණුවීම් සඳහා ලැබුණු පුහුණු තීරු ද ප්‍රමිතියෙන් තොර බවට ද විවේචනයක් එල්ල වී තිබුණි.

එම දුෂ්කරතා පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස් පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.  

“විකට් හොඳම නෑ. පසුගිය දවස් හතර පහ දුෂ්කර අභියෝගාත්මක දින කිහිපයක් බවට පත්වුණා. ෆ්ලයිට් එක පැය ගාණක් පරක්කු වෙලා ඉන් පසුව පුහුණුවීම් අවලංගු කරන්න වුණා. නිව් යෝක්වලින් ෆ්ලයිට් එකෙන් බැස්සේ පාන්දර. ඒ නිසා ගමන් මහන්සිය. පුහුණු සැසි කිහිපයක් අවලංගු කරන්න වුණා.” යැයි මැතිව්ස් පැවසීය.

කෙසේ වෙතත් ඒවා නිදහසට කරුණු කර නොගෙන ඉතිරි තරග ජය ලැබීම සඳහා දුෂ්කරතා මධ්‍යයේ වුවද උපරිමයෙන් ක්‍රීඩා කරන බවද ඔහු පැවසීය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් යනු සාමාන්‍ය තරගාවලියකට එහා ගිය හොඳ මානසික සුවයකින් සිටිය යුතු අවස්ථාවකි. ඒ හේතුවෙන් ක්‍රීඩකයන්ට පහසුකම් සැලසීමේ වගකීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව බැඳී සිටියි.  

I සටහන: යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00