2024 මාර්තු 09 වන සෙනසුරාදා

බංග්ලාදේශ විනිසුරුගේ කැත වැඩේ!

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 552

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ස්ථරයේ ක්‍රීඩා කරන බංග්ලාදේශය ‘කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ ජයගැනීමේ’ න්‍යාය අනුගමනය කරන ආකාරය පසුගිය සතියේ ලෝක ක්‍රිකට්ලෝලීන්ට දැකගත හැකි විය.

ශ්‍රී ලංකාවට එරෙහි වූ පසුගිය බදාදා පැවැති විස්සයි20 තරගයේදී බංග්ලාදේශ ජාතික තෙවැනි විනිසුරු මසුදූර් රහමන් දුන් ආන්දෝලනාත්මක තීරණයත් සමඟ සමස්ත ක්‍රිකට් ලෝකයම තිගැස්සුණේය.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගාවලියේදී ලින්ඩන් හැනිබල්ගේ තීරණයට විරෝධය දැක්වීම හේතුවෙන් විස්සයි20 පිලේ නිත්‍ය නායක වනිඳු හසරංග තහනමකට ලක්වීම නිසා බංග්ලාදේශයට එරෙහිව පළමු තරග දෙකේදී නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කළ අතර වනිඳු තහනමකට ලක්ව බංකුවේ සිටින බවද අමතක කළ චරිත් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශ විනිසුරුවන්ට විරෝධය දැක්වූහ. 

එම විරෝධය පිළිබඳව බංග්ලාදේශ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබුණත් මෙම සටහන් තබන මොහොත වන විටත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කිසිදු විනය පියවරක් ගෙන නොතිබුණි.

තරගය අවසාන වීමෙන් පසුව නිල මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවසුවේ තෙවැනි විනිසුරුවරයාගේ එම ආන්දෝලනාත්මක තීරණය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිලි කරන බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා එදින රාත්‍රියේම විනිසුරුවරයාට එරෙහිව පැමිණිල්ල අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යොමු කර තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිලාත්හිදී පසුගිය 6 වැනිදා  පැවැති දෙවැනි විස්සයි20 තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක් හඹා යමින් සිටි බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් උඩ පන්දුවක් දුන් බව පුනරෑපණවලින් ද සනාථ වෙද්දී බංග්ලාදේශ ජාතික තෙවැනි විනිසුරු මසුදූර් රහමන් මහතා එය දැවී යෑමක් නොවන බවට තීරණය කිරීම සමස්ත ක්‍රිකට් ලෝකය පමණක් නොව බංග්ලාදේශ අනෙක් ආරම්භ පිතිකරු වූ ලින්ටන් දාස් ද පුදුමයට පත් කළේය.  

සෞම්‍ය සාකර් ලකුණු 14 ක් රුස්කර සිටියදී බිනුර ප්‍රනාන්දු යැවූ ඉනිමේ සිව්වැනි ඕවරයේ පළමු පන්දුවට කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු තීරණය කළ අතර සෞම්‍ය සාකර් එම දැවී යෑම තෙවැනි විනිසුරුට යොමු කළේය.

නවීණ තාක්‍ෂණ පුනරෑපණ ද පන්දුව පිත්තේ වදින බවට පෙනි පෙනී තෙවැනි විනිසුරු එය දැවී නොගියේ යැයි සඳහන් කළේය. ඒ වන විට ක්‍රීඩාගාරය වෙත යමින් සිටි සාකර් නැවත හැරී ආවේය.

එම තීරණය සම්බන්ධයෙන් නායක චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්  ප්‍රධාන විනිසුරුට දැඩි විරෝධය දැක්වීමෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ හේතුවෙන් තරගය විනාඩි කිහිපයක් නතර විය.

සෞම්‍ය සාකර් එය තෙවැනි විනිසුරුට යොමු කිරීමෙන් පසුව පන්දුව පිත්තේ යට දාරයේ වැදුණේ යැයි ලින්ටන් දාස් පවා ප්‍රකාශ කළ ආකාරය දැකගත හැකිවූ අතර ලින්ටන් දාස් පුනරෑපණවලින් පසුව සෞම්‍ය සාකර්ට පිටියෙන් ඉවත් වන ලෙස පැවසූ ආකාරය ද රෑපවාහිනී  තිරයෙන් දැකගත හැකි විය.  

බංග්ලාදේශය එම දෙවැනි තරගය ජය ගැනීමත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සම විය.

බංග්ලාදේශය ලකුණු 28 ක් පමණක් රුස්කර තිබියදී පළමු කඩුල්ල ලෙස සෞම්‍ය සාකර් දැවී ගියේ නම් තරගයේ ප්‍රතිඵලය ද වෙනස් වීමට ඉඩ තිබුණි. එසේ වූයේ නම් ශ්‍රී ලංකාවට තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයගැනීමේ අවස්ථාව හිමිවේ.
බංග්ලාදේශය අදාළ විනිසුරු තීරණය හරහා තරගාවලිය බේරා ගැනීමට උත්සාහ කළා විය හැකිය.

ඉන්දියාවේදී පසුගිය වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම කටයුතු කළ ආකාරය අමුතුවෙන් කිව යුතු නැත.

එම සිද්ධියත් සමඟ බංග්ලාදේශයට ශ්‍රී ලංකාව පරාජය කිරීමේ අනිවාර්ය උවමනාවක් නිර්මාණය වූ අතර මෙම විනිසුරු තීරණය ද එහි ප්‍රතිඵලයක් වනවාට සැක නැත.

I යොහාන් භාසුර