2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ක්‍රිකට් ’’තොප්පිය’’ රොෂාන්ගෙන් හරීන්ට:

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 215

ශ්‍රී ලංකා ක්‍රිකට්වල දූෂණ වංචා හොයන්න ගිය රොෂාන් පහුගියදා පට්ටම් ගලවාගෙන ගෙදර ගියේය. දූෂණ චෝදනා එල්ල වුණු ශම්මිලා තවමත් තම පුටුවලය. ක්‍රිකට් හදන්නට දැමූ අතුරු කමිටුව දොරමුල්ලේය. ශ්‍රී ලංකා ක්‍රිකට් තවමත් වලපල්ලේය. අප මේ කතාව ලියන විට අලුත් ක්‍රීඩා ඇමැති කෙනෙක් පත්වී සිටියි. ඔහු හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වූ හරීන් ප්‍රනාන්දුය. හරීන් කුමක් කරන්නේදැයි අපි බලා සිටිමු.

ශ්‍රී ලංකා ක්‍රිකට්වල වංචා දූෂණ වංචා ගැන කතා කළ රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී බරපතළ කතාවක් කළේය. ජනාධිපතිවරයාටත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකටත් ඇඟිල්ල දිගු කර චෝදනා එල්ල කරමින් ඔහු කීවේ තමන්ගේ ජීවිතයට හානියක් වුවහොත් ඊට ඔවුන් දෙදෙනා වගකිව යුතු බවය. එසේම තමාව කොටු කිරීමට යන බවත්, ඒ සඳහා පොලිස් කණ්ඩායම් තමන් පසුපස පන්නමින් සිටින බවත් රොෂාන් කීවේය. ඒ කතා අවසන් කොට එළියට බහින විට රොෂාන්ට ජනාධිපතිවරයා අස්වීමේ ලිපිය ලබා දී තිබුණි.

රොෂාන් එම විෂයෙන් ඉවත් කිරීමේ කිසිදු ගැටලුවක් නැත. කැබිනට් සාමූහිකත්වය බිඳහෙලන තැනට පත්වූ විට ජනාධිපතිවරයාට එවැනි තීන්දුවක් ගැනීමේ හැකියාව ඕනෑම අවස්ථාවක හිමිව තිබේ. එබැවින් ගැලරිය පිනවීමට කතා කීමට පෙර රොෂාන්ට මේ දේවල් සම්බන්ධයෙන් තීන්දු දෙකක් ගැනීමට තිබූ බව ලියුම්කරුගේ මතයයි. එනම් වංචා දූෂණ සහිත ආයතනයක් සම්බන්ධයෙන් තමන්‍ට තීන්දුවක් ගැනීමට නොහැකි වන සේ බලපෑම් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ (පාර්ලිමේන්තුවෙන් පිට) ප්‍රකාශයක් සිදුකොට ඉල්ලා අස්වීමට ඔහුට හැකිව තිබුණි. අනෙක් කරුණ නම් වංචා දූෂණ ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් හා දූෂණ කොමිසම වෙත පැමිණිලි කිරීමට ද ඔහුට හැකියාව තිබුණි. එසේ නොමැතිව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ඇඟ කිලිපොලා යන කතා කීම එක් අතෙකින් ගැලරිය පිනවීමක් මිස එයින් ඔහුට සිදුවන සෙතක් නැත.

කෙසේ වෙතත් රොෂාන්ට ගෙදර යාමට කාරණා දෙකක් බලපෑ බව ආණ්ඩු අභ්‍යන්තරයෙන් දැනගැනීමට ලැබේ. කැබිනට් අනුකමිටුවක් තිබියදී අමාත්‍යවරයා විපක්ෂ නායක හමුවී ඉන්දියානු මහකොමසාරිස් වෙත ක්‍රීඩා අවුල සම්බන්ධයෙන් කතා කිරීම ඉන් එක් කරුණකි. අනෙක නම්, මහවැලි ඉඩම් විශාල ප්‍රමාණයක් තම හිත මිත්‍රාදීන්ට බෙදා දීම සඳහා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමය. මෙය ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න කර තිබුණි. කෙසේ වෙතත් ඊට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා නිසි පිළිතුරු ලබා නොදුන් බව දැනගන්නට ලැබුණද, ඔහු පසුගියදා පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කීවේ තමන් නිසි පිළිතුරු ලබාදුන් බවය. එහෙත් අවසානයේ ක්‍රීඩා ඇමැතිව සිටි රොෂාන් රණසිංහට ගෙදර යන්න වුණේ "ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ" යන්න සනාථ කරමිනි.

මේ සියල්ල මැද ජනාධිපතිවරයා වහාම ක්‍රීඩා අමාත්‍ය තනතුර ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන්නේය. ඒ හරීන් මීට පෙර ක්‍රීඩා ඇමැතිකමේ කටයුතු කළ බැවිනි. එසේම රොෂාන් සිටියදී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සිදුවූ පසුව එය ඉවත් කර ගැනීමට පවා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළේ හරීන් මන්ත්‍රීවරයාය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සමඟ ඍජුව කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මේ සඳහා ජනාධිපතිවරයා ද සම්බන්ධ කර ගත්තේය.

හරීන් සිය ඇමැතිකම බාරගත් සැණින් ක්‍රිකට් තහනම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කළේය. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පොරොන්දුව වූයේ එළඹෙන සතියේදී ක්‍රිකට් තහනම ඉවත් කරන බවය. එපමණක් නොව, මෙහිදී 19 පහළ ලෝක කුසලාන තරගාවලිය නැවත ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඒ මොහොතේ උත්සාහ කළද එය ප්‍රතික්ෂේප විය. ඒ විධායක කමිටුව මාස දෙකකට වතාවක් රුස්වීමත් අවසන් වරට රුස්වූ මොහොතේ එම තරගාවලිය දකුණු අප්‍රිකාවට ලබාදීමට තීරණය කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් මීළඟ විධායක කමිටු රුස්වීමට හරීන් ප්‍රනාන්දු මහතාට ආරාධනා කර තිබුණි. 

මේ වන විට ප්‍රශ්න වශයෙන් ඉතිරිව ඇත්තේ ක්‍රිකට් ආයතනය, අතුරු කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පමණි. එහෙත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට කුමන මොහොතක හෝ විසිරී යාමට සිදුවනු ඇත. එබැවින් ප්‍රධානම ගැටලුව වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ හෝ වෙන යම් සොයා බැලීමක් සිදුවේද යන්න බොහෝ අයට ප්‍රශ්නයකි. සැබෑ ලෙසම ශම්මිලා හිටපු අමාත්‍යවරයා කියන ආකාරයට දූෂිත නම් ඒ ගැන සොයා බැලිය යුතු අතර එය මගහැර යා නොහැක. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ශම්මිගේ බූදලයක් නොවේ. ගැටලුව ඇත්තේ මෙරට ජාතික කණ්ඩායම සම්බන්ධයෙනි. එබැවින් එකී කණ්ඩායම විකුණා ලබන මුදල්වලට කුමක් සිදුවන්නේද යන්න සොයා බැලිය යුතුමය. ක්‍රිකට් ආයතනය අතහැර දැමුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තව තවත් පිරිහීම හැර වෙනත් දෙයක් සිදු නොවේ.

අපට හදාගත යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මිස වෙනත් දෙයක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් මාධ්‍ය හමු තබමින් කෙතරම් පාරම් බෑවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් මහා බලාපොරොත්තු තබාගැනීමට හැකියාවක් නැත. ක්‍රීඩාව පමණක් නොව විනය ද පිරිහී ඇත. කණ්ඩායම අමුතුවෙන් "මකලා" හැදිය යුතුය. විශේෂයෙන් අලුතෙන් එකතුවෙන බොහෝ දෙනාට විනය නොමැතිවීමේ වෛරසය වැළඳිය හැකි බැවින් විනය හැදිය යුතුමය. එහෙත් එය ලේසි නැත. "ගුරා හිටගෙන මුත්‍රා කරන විට, ගෝලයෝ දුව දුව මුත්‍රා කරන කරන බව"ට කතාවක් ඇත. ඒ නිසා ගෝලයන් හැදීමට පෙර ගුරා නිවැරදි විය යුතුය.  

එසේම ගුරා හැදීම සඳහා හොඳම කෙනා සිටින්නේ 1996 ලෝක ශූරයන් අතර බවට කවුරුන් හෝ සිතන්නේ නම් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. 1996 ලෝක කුසලානයෙන් පසුව එවකට පළවූ පුවත්පත් වාර්තාවල කණ්ඩායම තුළ වූ කචල් දැකගැනීමට ලැබුණි. එපමණක් නොව එවකට ක්‍රිකට් ආයතනයේ සභාපති ආනා පුංචිහේවා මහතාට යන්න වුණේ කවුරුන් නිසාද? කාගේ බලපෑම් නිසාද? යන්න ද දැකගැනීමට ලැබුණි. එබැවින් අද සුදුපිරුවට ඇඳ ක්‍රිකට් හදන්න හදනවා යැයි කියා එන ගොඩක් අයියලා මල්ලිලා කාලයක් ක්‍රිකට් ආයතනයේ, තේරීම් කමිටුවේ වැඩ කළ හැටි ද මතකය. ඒවා නොදන්නා අයට ඔවුන් සුදනන්ය. එහෙයින් ලංකාවේ ක්‍රිකට් හදන්නට ආඬි හත්දෙනාගේ කැඳ හැලියේ සංකල්පය අත්හල යුතුය. තොරතෝංචියක් නැතුව කරන බොරුවෙන් සිදුවන්නේ කන්නත් නැතුව බඩගින්නේ නිදාගත් ආඬි හත්දෙනාට වුණු දේමය. ක්‍රීඩාව හදන්නට පළමුව ක්‍රීඩා පනත සැකසිය යුතුය. ඉන් අනතුරුව ඔලු ගෙඩි මාරු විය යුතුය. එය සිදුවන තෙක් ක්‍රිකට්වලට සොරි ඩොට් කොම්ය.

I ගයාන් ගාල්ලගේ

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00