2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

වයස 71දී රන් පදක්කම් දිනූ අකිලා

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 138

නොවැම්බර් 8 සිට 12 දක්වා පිලිපීනයේ පැවති 22 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨයන්ගේ (මාස්ටර්ස්) මලල ක්‍රීඩා ශූරතාවලියේදී 71 හැවිරිදි අකිලා තිරැණායකි ශ්‍රී ලංකාව රනින් සරසන්නට සමත් වූවාය. ඇය මීටර 5000 සහ 1500 ධාවන තරගවලින් රන් පදක්කම් දෙකක්ද, මීටර් 800 ධාවන තරගයෙන් ලෝකඩ පදක්කමද දිනාගත් අතර මීටර් 400 ධාවන තරගයෙන් සිව්වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ. මුලතිව්හි මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි අකිලා විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

22 වැනි ආසියානු මාස්ටර් මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 නොවැම්බර් 8 සිට 12 දක්වා පිලිපීනයේ ටාර්ලැක්හි නිව් ක්ලාක් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එයට ශ්‍රී ලංකා මාස්ටර් මලල ක්‍රීඩා සාමාජිකයන් 147 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී සිටියහ. අතර ඔවුන් රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 29ක් දිනාගනිමින් සමස්ත ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පත්ව තිබේ. පදක්කම් සටහනේ පළමු ස්ථානය ඉන්දියාවටද, දෙවැනි ස්ථානය ජපානයටද තෙවැනි ස්ථානය සත්කාරක පිලිපීනයටද හිමි වූ අතර තරගාවලිය සඳහා වයස අවුරැදු 35 සිට වයස අවුරැදු 80 දක්වා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූහ.

New Clark City ක්‍රීඩාංගනය 2019 වසරේ ඉදිකරන ලද නවීන ක්‍රීඩාංගනයකි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට නොඅඩු සංඛ්‍යාවකට නවාතැන් ගත හැකි ක්‍රීඩා ගම්මානයක් සහ නවීන පහසුකම් සහිත හෝටලයක්ද එම ක්‍රීඩාංගනය සතුව ඇත. ආසියානු ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා සංගමයට අනුබද්ධ රටවල් 28ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට පමණ මෙම තරගාවලියට සහභාගී විය හැකි වන අතර ආසියාතිකයන් නොවන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සීමිත තරග සඳහා පමණක් සහභාගී විය හැකිය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා