2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ක්‍රිකට් ක්‍රීඩක ආබාධ රිළවා ගහේ ගිරවා බෙනේ!

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 257

ක්‍රීඩක ආබාධ යනු වත්මන් ක්‍රිකට් අර්බුදයේ අඳුරු පැතිකඩකි. මෙම ගැටලුව වරින්වර සමාජගත වූ නමුත් ක්‍රිකට් බල අරගලය විසින් මේ පිළිබඳ සංවාදය යටපත් කළේය. කෙසේ වෙතත් ඉකුත්දා කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය කැඳවූ අවස්ථාවේ මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සුවිශේෂී අනාවරණයක් සිදු කරනු ලැබීය. ඒ අනුව ක්‍රීඩාව සහ ආබාධ සඳහා පිළියම් යෙදීමේ වගකීම පිළිබඳ පුළුල් සංවාදයක් සඳහා ‘දේශය’ අපි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වූ දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ කර ගතිමු.

ඔහු තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කළ කී දෑ සිහිපත් කරමින් සංවාදයට ප්‍රවේශ විය.

“ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ක්‍රීඩක ආබාධ සම්බන්ධ කටයුතු කිරීමට තිබෙන නිල ආයතනය තමයි ක්‍රීඩා වෛද්‍ය ආයතනය. මම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට පත්වෙනකොට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරු කිහිප දෙනෙක් හිටියා. භෞත චිකිත්සකයන් කිසි කෙනෙක් හිටියෙ නැහැ. පහසුකම් තිබුණෙ නැහැ. මහින්දානන්ද ඇමැතිතුමා ගෙනාපු සම්බාහනය කරන අය 15 ක් විතර හිටියා. ඒ අයට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ."

මෙය තරමක් යටගියාවේ කතාවකි. එහෙත් මෙය මඟහැර වර්තමාන ගැටලු සාකච්ඡා කිරීමට අපහසුය. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැති සමයේ ක්‍රීඩාවේ ශරීර යෝග්‍යතාව පිළිබඳ නිතර කතාබහ කළ බව අපට මතකය. ක්‍රීඩා වෛද්‍ය ආයතනය ගොඩනැගීම සඳහා ව්‍යාපෘති කිහිපයක්ම තමා ඉදිරිපත් කළ බවත්, එවක මුදල් ඇමැතිවරුන් ඊට සහයෝගය ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.

“ගොඩනැගිල්ල හදලා වෛද්‍යවරු අරගෙන, භෞත චිකිත්සකයන් දෙනෙක් අරගත්තා, සම්බාහන සිදු කරන්න ආපු අයට විදෙස් පුහුණුවක් ලබා දුන්නා. ජයවර්ධනපුර සරසවියේ භෞත චිකිත්සාව පිළිබඳ හදාරන ශිෂ්‍යයෝ පුහුණුව සඳහා අරගත්තා. ක්‍රීඩකයන් වෙනුවෙන් පෝෂණවේදියෙක් පවා සේවයට ගත්තා. නවීන උපකරණ ගෙනාවා. තුන්වැනි තට්ටුවේ ලැබ් එක. හතරවැනි තට්ටුවේ මීටර් 35 ක් දුවන්න පුළුවන් විදිහට කැමරා 16 ක් දාලා ක්‍රීඩකයන් ස්ක්‍රීන් කරන්න පුළුවන් වෙන විදිහේ පහසුකම් නිර්මාණය කළා. අද ඒ ඔක්කොම වැහිලා තියෙන්නෙ."

සෑම ක්‍රීඩකයකු පිළිබඳවම වෙනම ලිපිගොනු පවත්වාගෙන යමින් ඔවුන්ගේ ශරීර යෝග්‍යතාව සහ ආබාධ කළමනාකරණය මෙම ඒකකයේ අරමුණ වී ඇත.

දයාසිරි ජයසේකර මහතා පවසන පරිදි මෙම පහසුකම් නිර්මාණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩා සංගම් සඳහා භාවිත කිරීමට හැකිවන පරිදිය. ඒ අනුව එහි සැලසුම වී ඇත්තේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩක සංචිත ක්‍රීඩා වෛද්‍ය ආයතනයට අන්තර්ගත කොට රැකබලා ගැනීමයි. ක්‍රීඩා සංගම් වෙතින් සියලු සංචිත තොරතුරු ඉල්ලා සිටීමට ද එවක ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කොට ඇතැයි කියැවේ.

“ක්‍රිකට් එකේ වෙනම මෙඩිසින් එකක් තියාගත්තත් එයාල ළඟ පහසුකම් නැහැ. ඒ කාලේ ක්‍රිකට් එකේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හදාරලා නැති වෛද්‍යවරයෙක් පවා හිටියා. මේ අය සියලු පරීක්ෂාවන් අදටත් කරන්නෙ එක එක පෞද්ගලික තැන්වල. ඒත් ක්‍රීඩා වෛද්‍ය ආයතනය සමඟ මේ වැඩේ කරන්න තිබුණා. දැනුම පහසුකම් සියල්ල එක්කම ජයවර්ධනපුර රෝහල ඇතුළු රෝහල් භාවිත කිරීමේ හැකියාව තිබුණා." 

වඩාත් ඵලදායී වැඩපිළිවෙළක් සකසා තිබූ නමුත් එහි ඵල ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කොට නොමැති බව මේ අනුව දයාසිරි ජයසේකර මහතා කියා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ භෞතික චිකිත්සකවරුන්ටත් ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ එක්ව කටයුතු කරන ලෙස දන්වා තිබේ. ඒ අනුව සංචිතවල සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් ඍජු ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමට හැකියාව තිබූ බව ජයසේකර මහතා කියා සිටියි.

“මම එනකොට මස්පිඬු ඉරීම් තිබුණු ඇතැම් ක්‍රීඩකයන්ට වේදනා නාශක ලබා දෙමින් හිටියා. මම ආවට පස්සේ අපි ඒක නැවැත්තුවා. රීහැබිලිටේෂන් කරන්න කියලා අපි කිව්වා. වර්ක් ලෝඩ් එක වැඩි ක්‍රීඩකයන්ව රෙස්ට් කරවන්න උපදෙස් දුන්නා. මට ඕනෑ වුණේ විද්‍යාත්මක විදිහට මේ වැඩේ කරන්න. කොහොම නමුත් අද වෙනකොට ඒවා වෙලා නැහැ."

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලය සිදුකිරීමට උත්සාහ දරමින් සිටින්නේ තමන් හට සිදුකිරීමට නොහැකි කාර්යයක් බව දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි. පසුගිය සමයේ වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් සම්බන්ධව කටයුතු කර ඇති ආකාරයෙන් එම නොහැකියාව ප්‍රදර්ශනය වන බව ඔහු පෙන්වා දෙයි.

“ශරීර යෝග්‍යතාව නැතුව ක්‍රීඩාව කරන්න බැහැ. මම ඉන්න කාලේ ශරීර යෝග්‍යතාව සම්බන්ධ විශාල අවධානයක් යොමු කළා. අන්තිමට මාලිංග මට බැන්නා. ඒත් අද මොකක්ද වෙලා තියෙන්නෙ. අපේ ක්‍රීඩකයන්ගෙ ශරීර යෝග්‍යතාවේ ගැටලු ඇතිවෙලා. ලෝක කුසලාන තරගාවලියේ අපේ ක්‍රීඩකයෝ කී දෙනෙක් ආබාධයට ලක් වුණාද? අපේ කෙනෙක් සීයක් ගැහුවාම ඉස්පිරිතාලෙ, කෝලී සීයක් ගහලා ෆීල්ඩ් එකෙත් හොඳට කරනවා."

එකල ප්‍රසිද්ධ වූ ‘රිලවා ගහේ ගිරවා බෙනේ’ කතාව ද දයාසිරි ජයසේකර නැවත සිහිපත් කරයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ශරීර යෝග්‍යතාව සම්බන්ධ අවධානය අඩුවී ඇති බවයි. එහෙත් නූතන ක්‍රීඩා රටාව ජයගැනීමට හැක්කේ ඉහළ ශරීර යෝග්‍යතාවකින් පමණක් බව ඔහු කියා සිටීයි.

“ඒ කාලේ ෆිට්නස් ගැන කතා කරනකොට අර්ජුන මට බැන්නා. ඒ කාලේ ක්‍රිකට් එකයි දැන් ක්‍රිකට් එකයි දෙකක්. අද ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ගහන්නෙ වෙනම ක්‍රිකට් එකක්. ඒක අපි දැක්කා. අපි එදා මේක කිව්වා, එත් අපේ අය හිතුවේ මම ඒගොල්ලන්ගේ බඩ තියෙනවා කියලා කිව්වා කියලා."

එදා කොතරම් අවලාද ක්‍රීඩා ඇමැති ලෙස වින්ඳද, ක්‍රීඩා වෛද්‍ය ආයතනය හරහා ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේ නම් තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන්නට තිබූ බව අවසානයේ දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ශරීර යෝග්‍යතා තාක්ෂණය සහ විද්‍යාව එකින් එක මුසුවූ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් අප සමඟ අවධාරණය කළේය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00