ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වා අයිසීසී කීර්තිධර ක්‍රීඩකයන්ගේ (ICC Hall of Fame) ලැයිස්තුවට එක්කර තිබේ. එම සම්මානය නොවැම්බර් 15 දින ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන තරගාවලිය අතරතුර පිරිනැමිණි. ඔහු සමඟ ඉන්දියාවේ විශිෂ්ට ආරම්භක පිතිකරුවකු වූ විරේන්ද්‍ර ෂෙවාග් හා ඉන්දීය කාන්තා හිටපු ටෙස්ට් නායිකා ඩයනා එඩුල්ජිද 2023 වසරේ කීර්තිධර කීඩකයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. මෙම කීර්තිධර ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට මින් ඉහත ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (2016), කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (2021) නම්කර තිබූ අතර අරවින්ද ද සිල්වා එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් නම් කළ සිව්වැනි ක්‍රීඩකයා වේ. එමෙන්ම කීර්තිධරයන්ගේ ලැයිස්තුවට එක්වූ 110 වැනි ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වාය. මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 112 දෙනකු එම ගෞරවයට හිමිකම් කියයි.
ICC හෝල් ඔෆ් ෆේම් යනු ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ටතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් අගය කරමින් ඔවුන් සදාතනික ගෞරවයට පාත්‍ර කිරීමකි. මාධ්‍ය නියෝජිතයන් සහ FICA සහ ICC හි ජ්‍යෙෂ්ඨ විධායකයින් අතර පවත්වනු ලබන ඡන්ද විමසීමකින් අනතුරුව, අයිසීසී කීර්තිධර ක්‍රීඩකයෝ තෝරා ගනු ලැබෙති.
1984දී එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ අරවින්ද සිල්වා, ඉන් වසරකට පසුව කොළඹදී ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළ අවස්ථාවේ ලකුණු 75ක් රුස් කිරීමට සමත් විය. ඉන් මසකට පසු පකිස්තානයේ ෆයිසලාබාද්හිදී ඉම්රාන් ඛාන්, වසීම් අක්රම් සහ අබ්දුල් කදීර්ගේ පන්දු බලඇණියට එරෙහිව තම පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ ඔහු 1991දී වෙලින්ටන්හිදී නවසීලන්තයට එරෙහිව වාර්තාගත ලකුණු 267ක් රුස් කළේය. .ඔහුගේ අවසන් ටෙස්ට් තරගය 2002දී බංග්ලාදේශය සමග පැවැති තරගය විය. 1984 නවසීලන්තය සමඟ පැවැති තරගයෙන් එක්දින තරගවලට එක්වූ අරවින්දගේ අවසන් එක්දින තරගය වූයේ 2003 ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයයි.
දකුණත් පිතිකරුවකු හා දකුණත් දඟපන්දු යවන්කු මෙන්ම දක්ෂ පන්දු රකින්නකු ලෙස තුන් ඉරියව්වේම දස්කම් පෑ අරවින්ද 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ උපනායකයා වූ අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලාහෝර් හි පැවති අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 107ක් රැස්කිරීමට සමත් විය. එම තරගයේදී පන්දුවෙන්ද දස්කම් දැක්වූ ඔහු තම දඟපන්දුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනකුම ක්‍රීඩාගාරයට හරවා යැවීය. එකම ලෝක කුසලාන තරගයකදී ශතකයක් සහ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ප්‍රථම ක්‍රීඩකයා අරවින්ද වන අතර අවසන් මහා තරගයකදී එවැන්නක් කළ එකම ක්‍රීඩකයාද ඔහුය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට සහ එක්දින තරග 308කට ක්‍රීඩාකර ඇති අරවින්ද ටෙස්ට් තරග 93දී ඔහු රැස්කර ඇති ලකුණු ප්‍රමාණය 6,361ක් වන අතර එහි සාමාන්‍යය 42.97කි. ඔහු ටෙස්ට් කඩුලු 29 ලබාගෙන තිබේ. එක්දින තරග 308කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 9,284කි. එහි සාමාන්‍යය 34.90. එක්දින තරගවලදී ඔහු කඩුලු 106ක් දවාගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 20ක් රැස්කර ඇති අරවින්ගේ දක්ෂතා රතු-පන්දු ආකෘතියට සීමා නොවීය, සුදු-පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුට ඔහුගේ නමට ශතක 11ක් වාර්තා වී තිබේ.
සිය අවසන් ඉනිමේදී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් 2002 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් අරවින්ද 2003 වසරේ පැවති අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.
අයිසීසී කීර්තිධර ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඔහු ඇතුළත් කර ඇතැයි වාර්තා වූ පසු අරවින්ද ද සිල්වා මෙලෙස සඳහන් කර තිබිණි. “අයිසීසී හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත් කිරීම මා ලද අතිමහත් ගෞරවයක්. මෙම ජයග්‍රහණය මගේ ක්‍රිකට් ගමන හැඩගස්වා ඇති කැපවීම, පරිත්‍යාගය සහ ආදරයට උපහාරයක්''
මිතුරන් අතර මෑඩ් මැක්ස් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු අරවින්ද ද සිල්වා 1984 සිට 2003 දක්වා වසර 18ක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අතර මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසර 20ක් පමණ ගතවී තිබේ. වසර 20කට පසුව හෝ ඔහු කීර්තිධරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීම මෙම සුපිරි ක්‍රීඩකයාද දක්වන ලද ඉමහත් ගෞරවයකි.
2023 වසරේ අයිසීසී කීර්තිධරයන්ගේ ලැයිස්තුවට එක්වූ අනෙකුත් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ඉන්දියාවේ විරේන්ද්‍ර ෂෙවාග් සහ ඩයනා එඩුල්ජිය. 2001 දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගයෙන් සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්භ කළ විරේන්ද්‍ර ෂෙවාග් 2013 ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් පසු ටෙස්ට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඔහුද අරවින්ද ද සිල්වා මෙන් දකුණත් පිතිකරුවකු හා දකුණත් දඟපන්දු යවන්නෙකි. ඉනිම 180කදී ටෙස්ට් ලකුණු 8586ක් රුස් කර ඇති ඔහු එක්දින ඉනිම 245කදී ලකුණු 8273ක් වාර්තා කර තිබේ. 20 විස්ස ඉනිම 157දී ලකුණු 4061 වාර්තා කළේය. ඔහු ටෙස්ට් කඩුලු 40ක්ද එක්දින කඩුලු 96ක්ද 20 විස්ස කඩුලු 22ක්ද බිඳ දමා තිබේ.
ඩයනා එඩුල්ජි කීර්තිධරයන්ගේ ලැයිස්තුවට එක්වූ පළමු ඉන්දියානු ක්‍රීඩිකාවයි. අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි තුනක්ද නියෝජනය කර ඇති ඉන්දීය කාන්තා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායිකාව වූ ඇය තම දෙවැනි ටෙස්ට් තරඟයේදී අර්ධ ශතකයක් ලබා ගත් අතර, වසර අටකට පසුව දිල්ලිහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 64කට කඩුලු 6ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවාය. ඇය බිඳහෙලා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 14කි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා