2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ක්‍රිකට් අතුරු කමිටුව තහනම්: තිරය පිටුපස යුද්ධයක්

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 229

ලංකාවේ ලෝක ක්‍රිකට් කුසලාන සම්බන්ධයෙන් වූ බලාපොරොත්තුව වසර ගණනාවකට පසු, පසුගිය බදාදා නවසීලන්තය සමඟ පැවති තරගයත් සමඟ අවසන් විය. ආයේ ක්‍රිකට් ගැන කතා කරන්න තබා ක්‍රිකට් හදනවා යැයි වචන අහන්න තරම්වත් බැරි තැනකට ජනතාවගේ මනස ක්‍රිකට් නම අඳුරු අගාධයකට ගිල්වා අවසන්ය. ලංකාව ගැන කතාකරන විට වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසය ගැන මහා පම්පෝරි ගහන්නා සේ අද ක්‍රිකට් ගැන කතා කරන්න වී ඇත්තේද ''අම්මේ ඒ දවස්වල ක්‍රිකටස්ලා කොහොමද?'' යනුවෙන් ඉතිහාසය තලු මරමිනි. අපට දැන් ක්‍රිකට් ඉතිහාසයක් මිස අභිමානවත් ක්‍රිකට් අනාගතයක් ගැන හීන දකින්නට අවස්ථාවක් හිමි නැත. ඒ සඳහා 1996 සිට අද වනතෙක් මේ රටේ ක්‍රිකට් පාලනය කළ අයත්, ක්‍රිකට් ගැසූ අයත් අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇත. ඒ ඇයිද යන්න මේ ලිපියේ ඉදිරියේදී ඔබට කියවා ගත හැකිය.

► ටීම් එකට මොකද වුණේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොකද වුණේ? යන්න අහන්න දෙයක් දැන් ඉතුරු වී නැත. තමන් දන්නා එකම වෘත්තිය හෝ හරියට කර ගැනීමට නොහැකි වූ අපේ කණ්ඩායම ගැන තරහකට වඩා ඇත්තේ දැඩි අනුකම්පාවකි. ඊට හේතුව මේ ආකාරයේ ඉරණමක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අත්වෙතැයි කිසිවකු හීනකින්වත් නොසිතීමයි. ඇතැම්විට ක්‍රීඩකයන් පවා නොහිතන්නට ඇත. ඒ නිසා ''සිතුදේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි'' කියා ලෝක ධර්මතාවයට එකඟවන්නට සුවහසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අද වනවිට සිදුවී ඇත.

ඇත්තටම කණ්ඩායමට මොකද වුණේ? සැබවින්ම කණ්ඩායම මෙලෙස කඩා වැටීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස දකින්නේ ඔවුන් තරග ජයග්‍රහණ කිරීම කණ්ඩායම සතු පූර්ණ වගකීමක් ලෙස ඇඟට නොගැනීම නිසාය. එය බැලූ බැල්මට පෙනෙන දෙයකි. එනම් තරගය පුරාම මුල් පෙළ, මැද පෙළ සහ අවසන මේ කිසිවකු ස්ථාවරයක සිට වගකීමෙන් තරග කළ අවස්ථා හරියට දැක ගැනීමට හැකිවූයේ නැත. කණ්ඩායමේ ක්‍රීඩකයන් සතු Self Confidence හෙවත් ආත්ම විශ්වාසය පැවතියේ ඉතාම පහළ මට්ටමකය. තරග ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් තමන් සතු වගකීම කෙරෙහි විශ්වාසයක් ඔවුන්ටම තිබුණේ නැත. මුල් පෙළ කඩුලු තුන හතර දැවීගොස් ඇති මොහොතක පවා මැදපෙළ ක්‍රීඩකයන් ක්‍රීඩාකරනු ලැබුවේ වගකීම අතහැරය. තමන් සතු වගකීම සම්බන්ධයෙන් confidence එකක් ක්‍රීඩයන්ට තිබුණේ නැත. ළඟම උදාහරණය වන්නේ ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලියේදී කුසල් පෙරේරාගේ ක්‍රීඩා විලාසයයි. ඔහු ක්‍රමයෙන් තමන්ගේ සුපුරුදු පිති හරඹයට එනවිට ලකුණු 50ක් රුස් කළත් ඒ හා සමානව කණ්ඩායමේ කඩුලු බිඳවැටීම් දැක දැක සිය වගකීම කුසල් අමතක කළේය. ඒ නිසා ලකුණු ලබාගැනීමේ වේගය ක්‍රමයෙන් පහළ යන්නට විය. එය සමස්ත කණ්ඩායමේ ප්‍රබෝධය බිඳ වැටෙන මොහොතකි .ඊට හේතුව ඒ මොහොතේ කණ්ඩායමේ බලාපොරොත්තුවද එලෙස පන්දුවට පහර දෙන ක්‍රීඩකයා වීමය. ඔහු දැවී ගිය සැණින් සියල්ල අවසන් වනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ක්‍රීඩකයන් සතු විශ්වාසය අහිමිවී යාම නිසාය.

මේ ආත්ම විශ්වාසය අහිමිවීම තුළ පන්දු රැකීම, පන්දු යැවීම, පහරදීම සියල්ල උඩු යටිකුරු වනු ඇත. එහෙත් වෙනත් කණ්ඩායම්වල එවැනි තත්ත්වයක් නැත. හොඳම උදාහරණය වන්නේ කඩුලු හතක් දැවී නන්නත්තාර වී සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මැක්ස්වෙල්ගේ ක්‍රීඩා විලාසයයි. ඒ තමන් සතු විශ්වාසය නිසාය. මැක්ස්වෙල් පසුව කියා තිබුණේ තමන්ගේ ජයග්‍රාහී ඉනිම පසුපස කණ්ඩායමේ සියලුදෙනා සිදුකළ සැලසුම් තිබූ බවය. එහෙත් කරුමය නම් අපේ ක්‍රීඩකයන්ගේ තමන් සතු විශ්වාසය මැකී ගොස් වගකීම මඟහැරී ගොස් තිබීමය.

ඊට හේතුව කුමක්ද? හේතුව නම් ඔවුන්ගේ ආදායම සම්බන්ධයෙන් වගකීමක්, බැඳීමක් කිසිවකු සමඟ නොමැති නිසාය. අද ක්‍රිකට් ගැහුවත් නැතත් ක්‍රීඩකයන් සතු වැටුප ගිණුමට වැටෙනු ඇත. ඒ නිසා ඔවුන්ට තම වගකීම සම්බන්ධයෙන් බරක්, බියක්, අවදානමක් නැත. කෙසේ වෙතත් 2013 වසරේදී දක්ෂතාවය මත ගෙවීම් සිදුකිරීමට තීන්දු කළත් අද සමාජ මාධ්‍යවල බණ කියන ක්‍රීඩකයෝ ඊට සම්පූර්ණයෙන් විරුද්ධ වූහ. එසේ විරුද්ධ වෙමින් තමන් ක්‍රීඩා කිරීම අත්හරින බවද කීහ. එහෙත් එම තීන්දුව එදා වෙනස් නොකළත් අද ඒ සියල්ල වෙනස් වී ඇත. මේ නිසා අද ක්‍රීඩකයන් සිටින්නේ වගකීමෙන් ගැලවිලාය. අද ඔවුන් සිදුකරන ක්‍රිකට් වැරදි සම්බන්ධයෙන් විවේචනයක්, පීඩනයක් එල්ල කරන්න කිසිවකු නැත. එකක් බලධාරීන්ට මාධ්‍යවේදීන්, විචාරකයන් බහුතරයක් යටවී සිටීම හේතුවෙනි.

ඕනෑම වෘත්තියක නියැලෙන කෙනකුට තමන්ගේ රුකියාව සම්බන්ධයෙන් වගකීමක් ඒ වගකීම ඉෂ්ට කළ හැකි විශ්වාසයක් තිබිය යුතුය. ඒ නිසාම බොහෝ ආයතන නායකත්ව පුහුණු, මානසික ශක්තිය වඩවන වැඩසටහන් සිදුකරනු ලබයි. ගමේ ගාමන්ට් එකේ පවා එවැනි දේ සිදුකරන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවැනි වැඩසටහන් මාසයකින් නතර වී ඇත. ඒවා පුදුම වැඩය.

දෙවැනි කරුණ නම් අද ඉන්නා ක්‍රීඩකයන්ට තමන් කණ්ඩායමේ සිටින තැන සම්බන්ධයෙන් බයක් නොතිබීමය. ඊට හේතුව තමන්ගේ තැන ගැනීමට එකෙක් මේ කපේට තවම ලංකාවේ නැති බව සිතන බැවිනි. ඔවුන් ලංකාවේ දේශීය තරග බලන විට අතේ ඇඟිලි පහට වඩා දක්ෂ ක්‍රීඩකයන් හොයා ගැනීමට නැත. වාර්තා අලුත් කළ පාසල් ක්‍රීඩකයන් නැත. ක්‍රීඩා සංගම්වල ක්‍රීඩකයන් නැත. ඒ නිසා පහසුවෙන් ආදේශ කිරීමට කෙනකු නොමැති නිසා අද කොහොම හිටියත් ප්‍රශ්නයක් නැති බව ක්‍රීඩකයන් දන්නා දෙයකි. බයක් නැත. සැකයක් නැත. තමන්ට අද නැත්නම් හෙට හෝ අවස්ථාවක් හිමිවන බව ක්‍රීඩකයෝ හොඳින් දැන සිටිති.

ක්‍රිකට් ආයතනය

ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම ආරම්භ වන්නේ 1996දී ලෝක කුසලානය ජයග්‍රහණත් සමඟය. ඊට හේතුව වන්නේ ක්‍රිකට් ආයතනයට අධිකව මුදල් ගලාගෙන ඒම නිසාය. ඒ නිසා ක්‍රිකට් බෝඩ් නිලවරණය රටේ ජනාධිපති තෝරනවා හා සමාන විය.

1996 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සෘජුවම පවුල් තුනක් අතින් අත පැවැතිණි. රණතුංග පවුල, සුමතිපාල පවුල සහ ධර්මදාස පවුලය. මේ පුටුව කෙතරම් ප්‍රබලද යත් එකට කා බී එකට සෙල්ලම් කළ ආනන්දයේ අර්ජුනත්, නාලන්දේ තිලංගත් අද වෛරක්කාරයන් වී අවසන්ය. විවිධ චෝදනා එල්ල කළත් ප්‍රශ්නය මේ පුටුවය. 

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ සභාපති පුටුව තෝරා ගැනීම ක්‍රීඩා සංගම් විස්සකට සීමා වී තිබුණත් පසුව මෙහි බලය අල්ලා ගැනීමට කෑදර වුණු ඇතැම් අවස්ථාවාදීහු අවසානයේ ඡන්දයට ක්‍රීඩා සංගම් 140ක ප්‍රමාණයක් හදාගත්හ. අඩුම ගානේ බැට් එකක් හෝ අල්ලා නැති අයගේ නමින් ක්‍රීඩා සංගම් බිහිවිය. ඒ එක එකා සභාපති පුටුවේ වාඩිකර ගැනීමටය.

එවන් ඡන්ද ප්‍රමාණයක් ඇති ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිත්, අධ්‍යක්ෂ මණ්ඩලයත් නැවත පත්වීමට ක්‍රීඩාවට වඩා සිදුකළ යුත්තේ ඒ ක්‍රීඩා සංගම්වල ඡන්ද බලාගෙන ඔවුන් ගුවන් තොටිල්ලේ නැලවීමය. ක්‍රිකට් හැදීමට වඩා, තමන් නැවත බලයට පත්වීමටත්, සැප ගැනීමටත්, අනෙක් අයට සැප දීමටත් මේ සියලුදෙනා එකමුතුව යා යුතුය. හොඳට සලකා ගත යුතුය. ඒ සඳහා මුදල් සොයාගත යුතුය. ඒ නිසා ක්‍රිකට් ගැන බැලීමට වඩා ක්‍රිකට් නම විකුණා මුදල් සොයා ගැනීම පාලකයන්ගේ මූලික අරමුණ බවට පත්විය.

ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා එල්ල වුණේ අද ඊයේ නොවේය. මේ දශක තුනකට ආසන්න කාලයේ සිටන්ම මණ්ඩලයට විවිධ අවස්ථාවල චෝදනා එල්ල වී ඇත. එහෙත් කිසිවක් කළේ නැත. ඇයි? ICCයට බය නිසාද? ICC යෙන් ක්‍රිකට් තහනම් වෙයි කියන බය නිසාද? නැත. ඊට හේතුව වන්නේ ක්‍රීඩා බලධාරීනුත් ආණ්ඩුවත් සමගාමී සම මිත්‍රයන් වීම නිසාය. ක්‍රිකට් ආයතන ඡන්දයකදී හැමදාම ජයග්‍රහණය කළේ ආණ්ඩුවට හිතවත් අයකු මිස පිට අයෙක් නොවීය. මේ නිසා මොන සෙල්ලම් දැම්මත් ක්‍රිකට් බෝඩ් එකත් සමඟ හැප්පීම ලේසි නැත. ඇමැතිවරුන් පවා කතා කරන්නේ නැත. කතාකළ කෙනකුට වැඩිකල් ඉන්න වෙලාද නැත. ඒ නිසා රොෂාන් රණසිංහ ඇමතිවරයා ගැන පුදුමය. ඔහු ආණ්ඩුවේ ප්‍රබලයන් සහ ක්‍රිකට් ආයතනය අතර ඇති සම්බන්ධය ප්‍රසිද්ධියේ කීවේය. කෙතරම් එය ප්‍රබලද යත් ක්‍රිකට් ගැන සොයා බැලීමට පත්කළ කැබිනට් අනු කමිටුවේ ප්‍රධානියා වන්නේද කැබිනට්ටුවේ නැති අයෙකි. ඒ තරම් ක්‍රිකට් බෝඩ් එක ප්‍රබලය. අඩුම තරමින් අද ඇතැම් මාධ්‍යවේදීන් පවා ක්‍රිකට් බෝඩ් එකට විරුද්ධව කතා කරන්න ඉදිරිපත් වන්නේ නැත.

ක්‍රිකට් බෝඩ් එකට චෝදනා අද ඊයේ ආවේ නැත. 2018 වසරේදී වෝහාරික වාර්තාවක් මගින් විකාශන අයිතිය සම්බන්ධයෙන් චෝදනාවක් ආවේය. එහිදී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට චෝදනා එල්ල විය. පුදුමය නම් අදටත් ඈෂ්ලි සිය තනතුර දරමින් යෙහෙන් වැජඹෙමින් සිටීමය.

► රොෂාන් රණසිංහ හරිද?

කිසිදු ක්‍රීඩා ඇමතිවරයෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමඟ ෂේප් න්‍යායෙන් මිස ගැටෙන්න යන්නේ නැත. ඒ අඩු වැඩි වශයෙන් සිදුවන වාසි අවාසි නිසාය. එහෙත් රොෂාන් රණසිංහ මේ ආකාරයෙන් සටන් කිරීම ගැන අපි ප්‍රථමයෙන් ඔහුට ස්තූති කරන්නෙමු. එහෙත් එක් කාරණයක් රොෂාන්ගෙන් ඇසීමට ඇත. විගණකාධිපති වාර්තාව පදනම් කරගෙන රොෂාන් ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සටන් කරන්න ආවේ නම්, රොෂාන්ට මේ සටන ගන්න තිබුණේ ආසියානු කුසලාන සහ එල්.පී.එල්. එකටත් පෙරය.

අමාත්‍යවරයා කියන්නා සේ නීතිපතිවරයා විසින් කිසිදු තීන්දුවක් ගත්තේ නොමැති නම් රොෂාන් රණසිංහට මෙම වාර්තාව පොලිස්පතිට ඉදිරිපත්කොට රහස් පොලීසියට පැමිණිලි කරන්න ඉඩ තිබිණි. එපමණක් නොව සරලම කරුණ නම් රොෂාන්ට මේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න තිබූ අවස්ථාව මග හැරීමය. එහෙත් ක්‍රිකට් ගහගන්න බැරුව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන්නට පටන්ගත් මොහොතක මේ සටන පටන් ගැනීම කිසිදු පලක් වන්නේ නැත. එනම් දැන් මොනවා කළත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදුවන සෙතක් නැත. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයාගේ මේ උත්සාහය එක් පැත්තකින් ගඟට කැපූ ඉනි හා සමාන විය හැකිය.

අද වනවිට ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් චෝදනා කෝටි ගණනින් ඉදිරිපත් වුවත් එහි සාමාජිකයන් ඇමතිවරයාට පවා කොකා පෙන්නමින් ඇත. අඩුම තරමේ ඇමතිවරයාට අතුරු කමිටුවක් හෝ පත්කර ගැනීමට ඉඩක් නොදෙන තැනට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රබලය. ඇමැතිවරයා කියන ආකාරයට ඔහුට මරණ තර්ජන ගර්ජන එල්ල කළ බවද තව පැත්තකින් මත්කුඩු පවා තම බෑග්වලට දමන්නට ප්ලෑන් කළ බවද කියයි. 

අතුරු අනු කමිටුව හරිද?

අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැත. එහෙත් ඇමැතිවරයාටද අර ඉහත කී පවුල්වලින් ගැලවීමට හැකියාවක් වී නැත. රණතුංග පවුලෙන් අර්ජුණ සභාපති පුටුවටත්, ධර්මදාස පවුලෙන් උපාලිවත් ගෙනාවේය. අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු පාර්ලිමේන්තුවේදී කීවේ වෙන කිසිවකු බාරගැනීමට ඉදිරිපත් නොවූ බවයි. එය ඇත්තය. ඉහත කී පවුල් ටික එකතු වී හදාගත් ආයතනික ව්‍යවස්ථාව අනුව බත් කන එකෙක් එන්න කැමැත්තක් නැත. මොකද ආවොත් යන්න වෙන්නේ රෙදි නැතිවය. කෙසේ වෙතත් මොන කයිවාරු ගැහුවත් අමාත්‍යවරයාට එම පවුල්වලින් ගැලවෙන්න අවස්ථාවක් නැත.

දෙවැනි කරුණ නම් රඛිත රාජපක්ෂ මේ කමිටුවට පත් කිරීමය. රඛිත දන්න ක්‍රිකට් මොනවාදැයි අපි දන්නේ නැත. එහෙත් අමාත්‍යවරයාට නීති ආධාර ලබාදීම ක්‍රිකට් පාලක මණ්ඩලයට තෝරා පත්වීමේ සුදුසුකමක් යැයි හිතන එක වැරදිය. හැමදාම හිතුවේ එලෙසය. අර්ජුන ක්‍රිකට් සෙල්ලම් කිරීමත් ලෝක කුසලානය දිනා ගැනීමත් ඔහු පත් කිරීමට එකම සුදුසුකම යැයි සිතයි. එය අමු මිත්‍යාවකි. අර්ජුණ පවා අදටත් පම්පෝරි ගසන්නේ 1996 ලෝක කුසලානය ගැන පමණි. එහෙත් පසු අවස්ථා දෙකකදී ලෝක කුසලාන අවසන් තරගවලට සුදුසුකම් ලැබීමත් විස්සයි20 ලෝක කුසලානය අප ජයග්‍රහණය කිරීම ලොකුවට තකන්නේ නැත. ඒවා පුදුම තියරිය. ඒ නිසා අර්ජුණව ක්‍රිකට් පරිපාලනයට ගෙනා සැණින් ක්‍රිකට් හැදෙනවා නම් අර්ජුණ කලක් මෙහි කළ සේවයට කුමක් හෝ සිදුවනු ඇත. එහෙත් වෙච්ච දෙයක් නැත. ඒ නිසා මේ අනුකමිටුවට 100% විශ්වාසය දිනා ගැනීම පහසු නැත. එසේ හෙයින් ක්‍රිකට් ආයතනය ''හරි ෂෝක්'' කියන්නේද නැත?

කෙසේ වෙතත් මේ වනවිට අමාත්‍යවරයාගේ අතුරු කමිටුවට විශාල බාල්දි පෙරළී අවසන්ය. රටේ ලොක්කන්ගේ සමීපතමයන්ගෙන් නොසෑහෙන්න පීඩනය. එපමණක් නොව අභියාචනාධිකරණයෙන් පවා වාරණ වැටුණේය. අමාත්‍යවරයා අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක් කළේය. එසේම ක්‍රිකට් පාලක මණ්ඩලයය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්ට සැර වචනයෙන් ආමන්ත්‍රණය කළේය. අමාත්‍යවරයා පැවසුවේ පාලක මණ්ඩලය වෙනුවෙන් නීතීඥයන් ඉදිරිපත් නොවිය යුතු කියාය. එය වැරදිය. ඕනෑම සැකකරුවකුට විත්තිකරුවකුට නීතීඥ සහාය ලබාගැනීමට අයිතියක් ඇත. ඒ සඳහා නීතීඥයන් ඉදිරිපත් වීම විවේචන කරන්නට අයිතියක් නැත.

තේරීම් කමිටුව වැඩේ ඇනුවද?

බොහෝ දෙනා පවසන්නේ මෙය තේරීම් කමිටුවේ අවුලක් බව කියාය. ඒ සම්බන්ධයෙන් මට විවේචනයක් නැත. අතේ ඇඟිලි ගාණට ඉන්න ක්‍රීඩකයන් ලවා ක්‍රිකට් ගහනවා ඇරෙන්න මවන්න ක්‍රීඩකයන් නැත. එහෙත් තේරීම් කමිටුවේ වැරුද්ද වන්නේ අලුත්ම ක්‍රීඩකයන් ලවා ලෝක කුසලාන ක්‍රිකට් ගැස්වීමය. පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ, චන්දිමාල්, අවිශ්ක වැනි ක්‍රීඩකයන් අමතක කළේය. අවසානයේ අත්දැකීම් හීනකම නිසා ඇන්ජලෝව හදිසියේම ඉන්දියාවට ගෙන්නා ගත්තේය. දමාගිය ක්‍රීඩකයෙක් ගෙන්වා ගත්තේ කවුරුන්ද? අවශ්‍ය වූයේ ඇයි? කෙසේ වෙතත් එන එන ක්‍රීඩකයන් ඇතුළට ගැනීම සඳහා ඉන්න ක්‍රීඩකයන් ආබාධිතයන් කරන්නත්, ඇතැම් ක්‍රීඩකයන් බංකුවේ වාඩිකරන්නත් වැඩියෙන්ම සිදුවුයේ අපටය. මේවා විලිලැජ්ජ නැති වැඩය.

මේ අතර ලංකාවට පැමිණි කණ්ඩායම සමඟ සිටි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවැසුවේ මේ කණ්ඩායමට පිටින් වෙනත් කණ්ඩායමක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව කියාය. ඒ සම්බන්ධයෙන් දින දෙකකින් සියල්ල හෙළිකරන බව කීවේය. අපට කියන්නට ඇත්තේද එයමය. ඒවා හෙළිකළ යුතුය. ප්‍රමෝද්‍ය පමණක් නොව මහේලද ඇත්ත කිව යුතුය. මහේලට වගකීමක් නැතැයි කියා අත්හැරිය නොහැක. මහේල මසකට ඩොලර් 20000ක පඩියක් ගන්නවා නම්, තම සේවය ස්වේච්ඡාවෙන් ලබා නොදෙනවා නම් කණ්ඩායමට සිදුවු දේ මහේල රට හමුවේ කිවයුතුමය. එහෙත් හැමදාම මහේල හොයා ගන්නට නැත.

ක්‍රිකට් මට්ටුවට පාර්ලිමේන්තු සටන

ක්‍රිකට් ආයතනය මට්ටු කිරීම සඳහා පසුගියදා විපක්ෂ නායකවරයා විශේෂ යෝජනාවක් ගෙනාවේය. ඒ ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්වෙන ලෙස කියා බලකරමින් යෝජනා සම්මත කරමින්ය. විශේෂ විවාදයකුත් සවස 5.30ට ඡන්ද විමසීමකුත් යෝජනා කළේය. එහෙත් හවස 6.30 වනවිට යෝජනාව සම්මත වූයේ ඡන්දයෙන් නොව ඒකමතිකවය. චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා උද්‍යෝගයෙන් කෑගසා එය ඒකමතිකව සම්මත කළේය. එහෙත් පුදුමය නම් කිසිවකු විරුද්ධ වුණේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් රැකගැනීම පක්ෂ විපක්ෂ හැමදෙනාගේම වගකීම විය.

රටේ ආර්ථික ගැටලුවකදී පවා එක් නොවන පක්ෂ විපක්ෂ කණ්ඩායම් මේකට එකතු වුණේය. අවසානයේ ඡන්ද විමසීම මග හැරියේය. එහෙත් ඡන්ද විමසීම තිබ්බා නම් ගොඩක් දෙනාගේ වෙස් මුහුණු ගැලවෙනු ඇත. එහෙත් ඒකමතිකව සම්මත කිරීම බොරු රඟපෑමක් විය. ඒ සම්මතයෙන් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කළ හැකි බලපෑමක් නැති නිසාය. අපි හුරේ දැම්මේ අන්න ඒ බොරුවටය. ඒ නිසා මේ ඇත්ත බොරුව වටහා ගන්නට කල්යනු ඇත. දැන් ඒ යෝජනාව සම්මත වීමෙන් පලක් වුණේද? ශම්මිලා ගෙදර ගියේද? නැත.

කමිටු පිට කමිටු

අමාත්‍යවරයා අතුරු කමිටුව පත්කළ සැණින් ජනාධිපතිවරයා කැබිනට් අනුකමිටුවක් පත් කළේය. එහි ප්‍රධානිය වූයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකය. කැබිනට් අනු කමිටුවකට කැබිනට් නොවන කෙනෙකු ප්‍රධානියා කරන්නේ කෙසේද යන්න ලොකු අවුලකි. නීතිය දන්නා අය කරන දේවල් නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමෙන් පලක් නැත. එහෙත් වෙනදේ ගැන පූර්ව නිගමනයකට පැමිණිය හැක. කෙසේ වෙතත් කැබිනට් අනුකමිටුවත් සිදුකරන්නේ චෝදනා එල්ල වෙන ක්‍රිකට් ආයතනයට වඩා මේ ප්‍රශ්නය විසඳාගත හැකි ක්‍රමයකි. ඒ රැවුලත් කැඳත් බේරා ගන්නටය. දැන්නම් රුවුලත් කැඳත් පමණක් නොව කටත් අහිමි වී අවසන්ය.

මේ සිදුවීමේදී ඉතාම ප්‍රශ්න සහගත තැන් විශාල වශයෙන් ඇත. එනම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශකත්, මාධ්‍ය ලේකම්වරයත් ක්‍රිකට් ආයතනයට නම්මා ගත් බව කියයි. එපමණක් නොව අතුරු පාලක මණ්ඩලය සඳහා පත්කළ කණ්ඩායමේ සිටින විශ්‍රාමික විනිසුරුවරුන් තිදෙනා පසුගිය දිනෙක ක්‍රිකට් ආයතනය විසින් තවත් කමිටුවකට පත්කරනු ලැබීය. එය හතරබීරි කතාවකි. ඇමැතිගේ පත්කිරීම්, ක්‍රිකට් ආයතනයේ පත්කිරීම් මේ සියල්ලටම එකම සාමාජිකයන්ය. ඇත්තටම මේවා අත්භූත සිදුවීම්ය. මේවා සිදුවෙන්නේ කෙසේද යන්න ගැටලුවකි.

I ගයාන් ගාල්ලගේ

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01