2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

අහෝ... අපේ ක්‍රිකට්...!

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 217

''කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. මම කියනවා ඕක හදන්න බැරි දෙයක්.''

මේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලෝක පූජිත මුත්තයියා මුරලිදරන් ප්‍රසිද්ධියේ කී කතාවකි. මීට වසර හතරකට පෙර එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස අදහස් ප්‍රකාශ කරන මුරලිදරන් පවසන්නේ නැවත කිසි දිනෙක ක්‍රිකට් ගොඩනැගිය නොහැකි බවයි. ඊට සම්පූර්ණයෙන් ක්‍රිකට් පරිපාලනය වගකිවයුතු බවද මුරලි ප්‍රසිද්ධියේ කීවේය. එලෙස ප්‍රකාශ කර වසර දෙකක් ගත විය. ආසියා කුසලානය 2022 වසරේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. එතැන් පටන් මුරලිදරන් මෙරට ශ්‍රී ලංකා රසිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. එය ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ කුහක අදහස් පෙන්වීමක් බව කීවේය. මුරලිදරන් අමු අමුවේ සමාජ මාධ්‍ය තුළ මඩ ප්‍රහාරයට ලක්විය.

එහෙත් මුරලි කියූ කාරණයේ අභ්‍යන්තර අර්ථය කිසිවකු හිතට ගත්තේ නැත. මුරලි කියූ ඇත්ත තේරුම් ගත්තේ නැත. ඩයි හාඩ් ක්‍රිකට් ෆෑන්ස්ලා මුරලි වැනි ප්‍රවීණයකුගේ මතයට වඩා ක්‍රීඩාවේ එම මොහොතේ ජයග්‍රහණය පමණක් සිහින වී තිබුණේය. සැලසුමක් නැති, අරමුණක් නැති, ඉලක්කයක් නැති රටක මෙවැනි දේවල් සාමාන්‍ය සිදුවීම්ය. එවැනි රටවලට අවශ්‍ය වන්නේ දීර්ඝ සතුටකට වඩා එම මොහොතේ ''සෝඩා බෝතල්'' සතුටු වීමක්ය. ගෑස් අඩු වුණොත් සතුටුය. තෙල් අඩු වුණොත් සතුටුය. එහෙත් හැමදාම ඒ සතුට තියාගන්න ආර්ථික සැලැස්මක් නැත. එවැනි රටකට පුංචි පුංචි සිප්පි කෑලි සතුටුවීම් මහා ඉහළින් සමරන්නේය. යථාර්ථය දැනගෙන සතුටු නොවන්නන්ටද බැණ වදිමින් සතුටු වන්නේය. අන්න ඒ ආනිසංසයම මේ ක්‍රිකට් ක්‍රීඩාවට අද වනවිට සිදුවී හමාරය. මහ කකුළුවා ඇදේට යමින් පොඩි කකුළුවන්ට කෙළින් යන්නට කියන්නත්, පොඩි කකුළුවන් කෙළින් යනතෙක් බලාපොරොත්තු තබාගෙන ඉඳීමෙන්වත් ඒ නිසා පලක් වන්නේ නැත. කතාව පටන් ගන්නට පෙර කියන්නට තියෙන්නේ ''ගුරා හිටගෙන මූත්‍රා කරනකොට ගෝලයෝ දුව දුව මූත්‍රා කරන එක'' පුදුමයක් නොවන බවයි.

''යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවම, පුළුන් මල්ල ගැන කවර කතාදැයි'' ජනප්‍රවාදයේ මරු කතාවක් ඇත. අද යකඩ මල්ල මේ ශ්‍රී ලංකාවය. පුළුන් මල්ල ශ්‍රී ලංකා ක්‍රිකට්ය. ඒ නිසා රටේ හැටියට ක්‍රිකට් ගැන අමුතු හීන තබා ගතයුතු නැත.

ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් නොලබා සිටි මොහොතක කණ්ඩායම ලෝක කුසලානය සඳහා තෝරා පත්වන්නේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට මුහුණපාමිනි. ශූරයන්ගෙත් ශූරයන් තෝරන ලෝක කුසලාන තරඟාවලියකට එක්වීමට පවා සුදුසුකම් සැපිරීමේ තරගාවලියකට මුහුණ දෙන්න තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටෙන විට එකී කණ්ඩායමෙන් ප්‍රාතිහාර්ය හෝ අප සතුටු කරන ප්‍රතිපල ගෙන එතැයි කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. වෙනත් කණ්ඩායමකින් දශමයක හෝ බලාපොරොත්තු තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් එවන් බලාපොරොත්තුවක් කිසිසේත් තබාගත නොහැකි තත්ත්වයට අද රටේ ක්‍රිකට් ඇද වැටී තිබේ.

එසේ බලාපොරොත්තු තබාගත නොහැක්කේ ඇයි? එයට සරලම පිළිතුර නම් අපේ රටේ ප්‍රේක්ෂකයාට ක්‍රිකට් සංස්කෘතියක් ඇතත් අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එවැනි ක්‍රිකට් සංස්කෘතියක් ගෑවී හෝ නොමැති වීමය. ක්‍රිකට් සංස්කෘතිය තුළ ජය පරාජය සම සමව උරුම වූවත් එකී පරාජයන් හෝ ජයග්‍රහණ සාධාරණ සැකයෙන් විනිශ්චය කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලයත් ක්‍රිකට් ක්‍රීඩකයනුත් පත් වී නැත. ඒ වෙන දෙයක් නිසා නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ වූ ක්‍රිකට් සංස්කෘතිය අන්තයට පිරිහී ගොස් තිබීම හේතුවෙනි. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ක්‍රිකට් කණ්ඩායමටත් හොඳක් අහන්නට අවස්ථාවක් ආවේම නැත. ඒ ඇතැම් බහිරවයන් සහ ප්‍රේතයන්ගේ ඇල්ම බැල්ම ක්‍රිකට් ක්‍රීඩාවට වැටුණු නිසාය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය විසින් මුදල් පරිහරණය කළ ආකාරය ගැන හෙළිවූ කාරණා සමඟ අද ක්‍රිකට් ආයතනය මෙසේ හෝ ඉතිරි වී තිබෙන එක ලොකු දෙයක්ය. ඇතැම් නළු නිළියන් සමඟ සිදුකළ විදෙස් සංචාර ඔවුන්ගේ සුඛ විහරණය සඳහා වෙන්කළ පහසුකම්, ඔවුන් වෙනුවෙන් ලබාදුන් වී.අයි.පී. ටිකට් පත් සම්බන්ධයෙන් හෙළිවූ කාරණා ගැන සොයා බැලූවිට පෙනෙන්නේ නළු බට්ටන් සමඟ තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමේ සැලැස්ම මොන ආකාරයේ සැලැස්මක්ද කියාය. කෙසේ වෙතත් ඒ සැලැස්ම අප සමාජ මාධ්‍ය තුළින් හොඳටම දැක ගත හැකිය. එක පැත්තකින් හිනාගියත් තවත් පැත්තකින් ඇත්තේ අප්‍රසන්න පිළිකුල් සහගත හැඟීමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයා අන්ද මන්ද වී නන්නත්තාර වී සිටින මොහොතක ක්‍රිකට් බලධාරීන් ඒ තරම් අවධානය යොමුකොට සිදුකළ සැලසුම් නිසා අද එහි ප්‍රතිඵල දෝතින් නෙළා ගැනීමට ක්‍රිකට් බලධාරීන්ට ඇඳුම් නැතුව හෝ ඇතුව හැකියාව ඇත. එහෙත් ප්‍රේක්ෂක අප සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නන්නත්තාර වී අවසන්ය.

පසුගියදා ඉහත කී කතාවට හොඳ උදාහරණයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කීවේය. එනම් විගණන වාර්තාවට අනුව විධායක කමිටුව සංචාරයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෛනික වියදම 75%කින් වැඩි කරගෙන ඇත. ඒ ඩොලර් වලිනි. එය නීතියකට අනුව සිදුවී නැත. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මගින් එක් ක්‍රීඩකයෙක් සඳහා ප්‍රවේශ පත්‍ර 20 බැගින් ප්‍රවේශ පත්‍ර 100ක් ලබා දී ඇත. පුදුමය නම් ක්‍රීඩකයන්ට එම ටිකට් 100න් ටිකට් ලබාදී ඇත්තේ 3ක් පමණක් වීමය. ඉතිරිය ලබාදී ඇත්තේ වෙනත් අයට බව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් තවත් ප්‍රවේශ පත්‍ර 624ක් ලබාදී තිබේ. ඒ 624න් 434 ක්‍රීඩකයනුත්, විධායක මණ්ඩයලත් බෙදාගෙන ඇත. ඉන් ටිකට් 155ක් අපතේ යවා ඇත. එනම් ප්‍රයෝජන ගෙන නැත. ඊටත් වඩා පුදුමය වන්නේ එසේ ටිකට්පත් 155ක් ඉවත දමන ගමන් තවත් ටිකට් 150ක් මුදල් දී මිලදී ගැනීමය. ඒ සඳහා වියදම් කර ඇති මුදල අසූ හත්ලක්ෂ හතළිස් හත් දහස් නමසිය හැටකි. එසේම එක්තරා සංචාරයකදී ක්‍රීඩාවට සම්බන්ධ නොවන අයෙක් විදෙස් රටකට රුගෙන ගොස් නැවත නොපැමිණි බවටද හෙළි වී ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

එවන් හිතු මනාපයට සල්ලි ගිලින ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදුවූයේ කුමක්ද? සිදුවූ දෙයක් නැත. සිදු වූ එකම දෙය නම් ක්‍රිකට් දිනෙන් දින අනන්තයට පිරිහීම පමණි. ඊට හොඳම උදාහරණය වන්නේ ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී ඇල්ලූ අඩව්වය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් ආදරයද යත් ධනුෂ්ක ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් වුවත් ඔහු රාත්‍රියේ කණ්ඩායමෙන් ඉවත්ව රස්තියාදු ගැසීම සම්බන්ධයෙන් දුන් තීන්දුව වූයේ ඔහු ලංකාවට පැමිණි සැණින් ක්‍රීඩා කිරීමට අවසර ලබාදීමය. එවන් පරිපාලනයක් ඇති ක්‍රිකට් ආයතනයකින් හොඳ විනයගරුක කණ්ඩායමක් කෙසේ නම් බලාපොරොත්තු වෙම්ද?

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයත්, තේරීම් කමිටුවත් කටයුතු කළේ කෝමා තත්ත්වයේ සිටියදීද යන්න පිළිබඳ ක්‍රීඩාලෝලීන්ට සැකයක් ඇත. ඉතාම දරුණු කඩා වැටීමක ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන මොහොතක, විශේෂයෙන් අත්දැකීම් සහිත ප්‍රවීණ ක්‍රීඩයන් කණ්ඩායමට අවැසි මොහොතක තේරීම් කමිටුව පත්කළේ අලුත් ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන් යුත් කණ්ඩායමකි. ක්‍රීඩාවෙන් ඉහළට එමින් සිටින, ලෝක කුසලානයක අත්දැකීම් නැති ක්‍රීඩකයන් ටිකක් දමා ඔවුන්ගේ අනාගතය සම්පූර්ණයෙන් තේරීම් කමිටුව විනාස කර දැම්මේය. මේ තරගාවලියට සුදුසුම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මග දමා යන්නට තරම් ක්‍රිකට් තේරීම් කමිටුව සිටියේ අධි මානසිකත්වයකිනි. මේ නිසාම සිදුවුණේ අංකුර ක්‍රීඩකයන් වූ මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයට ඇද දමා දැවැන්ත ජාත්‍යන්තර ක්‍රීඩකයන් හමුවේ බිලිදීමය. ඔවුන්ගේ ක්‍රීඩා මොරාල් එක සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීම ඒ අනුව සිදු කෙරිණි. ඊටත් වඩා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට සිදුවූයේ ඒ තරුණ ක්‍රීඩකයන් අමු අමුවේ බිලිදීම සඳහා දංගෙඩියට දක්කාගෙන යාමටය. ඒ නිසා එලවා එලවා ප්‍රහාරයට ලක්වන්නට ඔවුන්ට සිදුවිය.

දසුන් ශානකගේ දියාරු ක්‍රීඩා විලාශයක්, තේරීම් කමිටුවේ උද්ධච්ඡකමත් නිසා අවසානයේ ලෝක කුසාලන සිහිනය අනෙක් කණ්ඩායම්වල දස්කම් මත රැඳෙන තරම් පහත් තත්ත්වයකට ඇද වැටිණි. අරයා මෙයාට ගැහුවොත්, අරගොල්ල මේ ගොල්ලන්ට ගහලා එයාලා පරාද වුණොත් අපිට සෙමි යන්න පුළුවන් කියන මට්ටමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන බලාපොරොත්තු ඇද වැටිණි.

කෙසේ වෙතත් වෙච්ච විලි ලැජ්ජාවෙන් බේරෙන්නට තේරීම් කමිටුව ඉත්තෝ අදින්න ගත්තේය. ඒ අනුව චාමිකව ගෙන්න ගත්තේය. චාමිකගෙන් හිතුව තරම් වැඩක් වුණේ නැත. ඒ නිසා තේරිම් කමිටුව එපා කියා මග හලා ගිය ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවට ගෙන්නා ගත්තේය. ගෙන්න ගත්තට වැඩක් නැත. ඒ ක්‍රීඩකයන් සංචිතයට දාගත යුතුව ඇත. ඒ සඳහා ඉන්න ක්‍රීඩකයන් ආබාධ විය යුතුය. එය එසේම විය. පසුව අලුතින් ගිය ක්‍රීඩකයෝ කණ්ඩායමට ඇතුළු වූහ. ඔබ ක්‍රීඩාව ගැන මෙලෝ අටමගලයක් නොදන්න අයකු වුවත් මේ ආකාරයෙන් ක්‍රීඩකයන් එහා මෙහා කිරීම තුළ අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට මොනතරම් දුර්වල සූදානමක සිටින්නට ඇතිද යන්න තව උදාහරණ අවශ්‍ය නැත. ක්‍රීඩකයන් ආනයනය කරන්නත් ඉන්න උන් ආබාධ වෙන්නත් මෙතරම් හැකිදැයි ඕනෑම අයකුට ඇතිවන ප්‍රශ්නයකි.

තරග ජයග්‍රහණය කිරීමේ අදහසින් කුසල් මෙන්ඩිස් නායකයා කරනු ලැබීය. ඇන්ජලෝ ඇතුළට ගෙනාවේය. එපමණක් නොව ''ඉඟුරු දී මිරිස් ගත්තා'' මෙන් කුසල් ජනිත් ඉවත් කර දිමුත් කරුණාරත්න ආරම්භයට ගෙනාවේය. දිමුත්ගේ වසර පහ හයක එක්දින තරඟ ඉතිහාසය ගතහොත් ක්‍රීඩා කිරීමේ විලාසය නිල්ය. එවන් ක්‍රීඩකයෙක් මේ අවස්ථාවේ ගෙනාවේ ඇයිද යන්න තවමත් ගැටලුවකි.

කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු පරිදි තරග කිහිපයක් හොඳට සෙල්ලම් කළේය. එංගලන්තයට එලවා පහර දුන්නේය. අවසානයේ සැලසුමක් නැතිව මොරාල් එකෙන් පමණක් ක්‍රීඩා කිරීමට පැමිණ ඇෆ්ගනිස්ථානයෙන් හොඳට කෑවේය. ඉන්දියාව සමඟ තරමක හෝ සටනක් දෙතැයි අපේක්ෂා කළත් දුවන්න කෑවේය. ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව එය විය. ලකුණු 55 කට සියල්ල දැවී ගියේය. කොතරම් ලැජ්ජ සහගතද යත් ලකුණු 22කට කඩුලු 7 වැටී ඇති මොහොත කැමරාව ක්‍රීඩාගාරය වෙත හැරවීය. එතරම් පීඩනයක් ඇති මොහොත ක්‍රීඩා පුහුණුකරුවන් තේරීම් කමිටු නිලධාරීන් සිටින හැටි නොදැක්කත් අපට මැවී පෙනේ. එහෙත් ලැජ්ජ සහගත දෙය නම් කැමරාව හරවන විට කවුරුන් හෝ අයෙක් කෑම ගිලමින් සිටින අයුරු දැකගත හැකිවීමය. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට කෙල ගිලෙන්නේ නැති එම මොහොතේ, වගකීම් ගතයුතු අය සප්පායම් වෙමින් ඇත. අඬන්නද? හිනාවෙන්නද? තේරෙන්නේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු පුහුණු කණ්ඩායමේ වැටුප ඩොලර් 119,000 කට වැඩිය. එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 4කට ආසන්නය. එහෙත් ක්‍රීඩාවේ වැඩ නම් බිංදුවට වැටිලාය. අපට කියන්නට දෙයක් ඇත. මහේල ජයවර්ධන අප ගරුකරන ක්‍රීඩකයෙකි. එහෙත් ඔහු හැම මොහොතකම පෙනී ඉන්නේ තිරෙන් පිටිපස්සේය. ඒ නිසා අප මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මහේලගෙන් මේ කණ්ඩායමට මොකක් වී ඇත්ද යන්න ඉදිරියට විත් කියන ලෙසය. ඩොලර් 20,000ක වැටුපක් ගන්නා මහේලට ඒ ඇත්ත කීමේ වගකීම ඇත. ඉන්දීය ක්‍රීඩකයන් හමුවේ පන්දුවකට ඉතාම හොඳ මනසකින් මුහුණදීමට තරම් හැකියාවක් නැති ක්‍රීඩකයන්ගෙන් තවත් ක්‍රිකට් ක්‍රීඩාවක් බලාපොරොත්තු තියාගත හැකිද?

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සැකසීම සඳහා මෙම තරගාවලියට පෙර මානසික මට්ටම සැකසීමේ පුහුණු සැසියක් ආරම්භ කළත් එය දිගටම සිදුකරගෙන ගොස් නැත. එය මගදී නතර වුණු බව පහරදීමේ පුහුණුකරු නවීඩ් නවාස් කීවේය. ඇත්තය. ඒවා එක දිගට කරගෙන යාමට වෙලාවක් ක්‍රීඩා ආයතනයට නැත. ඊට වඩා වෙන වැඩ ගොඩක් ආයතනයට ඇත. ඒ නිසා ඒක ලොකූ ප්‍රශ්නයක් වන බව ක්‍රිකට් ආයතනය දන්නේ නැත. ඒවා හොයන්න වැඩකුත් නැත. ක්‍රිකට්‍ ආයතනයේ සභාපති කිව්වේ ක්‍රිකට් ආයතනය පෞද්ගලික ආයතනයක් නිසා ඒකට එන යන සල්ලි ගැන හොයන්න අයිතියක් නැති බවය. ඒ නිසා එතුමාට කැමති දේ කරන්නත්, ක්‍රිකට් කැමති විදිහට සෙල්ලම් කරන්නත් ඉඩදී සිටීම හැර අපට වෙන දෙයක් නැත.

එහෙත් කියන්නට එක දෙයක් ඇත. අර්ජුනලා, අරවින්දලා, සනත්ලා, වාස්ලා විසින් ඇති කළ ක්‍රිකට් උණ තවමත් ජනතාවට ඇත. ඒ නිසා තවමත් පරදින බව දැන දැන ප්‍රේක්ෂකයෝ තරග බලති. ඒ බලන බව දැන දැන ක්‍රීඩකයෝද තමන්ට ඕන සේ සෙල්ලම් කරති. ඒ නිසා මේ වගේ පරදින බව දැන දැන බලන ප්‍රේක්ෂක අපි මුග්ධ බව පිළිගත යුතුය. එහෙත් බිංදුවට වැටුණු රටක ඒ හැර වෙන සතුටක්ද නැත. එක මැච් එකක් හෝ දින්නොත් ඒ තරම් සතුටක් අපට දැන් නැත. ඒ තරමට රටේ සංස්කෘතිය හා සමානව ක්‍රිකට් සංස්කෘතිය බිහි වී ඇත. එවන් මොහොත ක්‍රිකට් ක්‍රීඩාවෙන් මැජික් අපිට බැලිය නොහැක. ඒත් අවසන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කීමට දෙයක් ඇත. මේ රටේ ක්‍රීඩාවක ජාත්‍යන්තර අභිමානය තිබුණේ ක්‍රිකට් කණ්ඩායම තුළය. පුළුවන් නම් එයත් නැත්තට නැති නොකර කරන්න පුළුවන් අයට දී ගෙදර යන්නට කියාය.

I ගයාන් ගාල්ලගේ
 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00