2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ජාතික ඔලිම්පික් කමිටුව මීළඟ උළෙලට ජපන් යන්න පිටපොට ගහයි

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රකාශ පුස්සක් බවට පත්කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන නිලධාරීන් ජපානයේදී පැවැත්වෙන 2020 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට සූදානම් වන බව වාර්තා වේ.
බ‍්‍රසීලයේ රියෝහිදී පසුගිය වසරේ (2016) පැවැති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට අනවශ්‍ය පුද්ගලයන් සහභාගි කරවීම, ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ඇතැම් ක‍්‍රීඩකයන්ට විශේෂ වරදාන ලබාදීම, පුහුණුකරුවන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ අවස්ථා හිතවතුන්ට ලබාදීම ආදි චෝදනා රැසක් ඔලිම්පික් කමිටුවේ වර්තමාන නිලධාරීන්ට එල්ල විය. 

එම සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද නියෝග කළ බව මාධ්‍ය වාර්තා පළවිය. ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ද මේ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. 

කෙසේ වෙතත් එම සියලුම නියෝග ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් ප‍්‍රසිද්ධිය සඳහා ගැලරියට ගැසූ ඒවා බව කිවහොත් එහි වරදක් නැත. එය එසේ නොවුණේ නම් ඔලිම්පික් කමිටුවේ පිනුම් ගහන මේ නිලධාරීන් අද සිටිය යුත්තේ නිවෙස්වල විවේක සුවයෙනි. එසේ නැත්නම් අක‍්‍රමිකතාවලට දඬුවම් විදිමිනි. 

එවැනි චෝදනා රැසක් එල්ල වූ එම නිලධාරීන් තවදුරටත් ඔලිම්පික් කමිටුවේ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ අවාසනාව බව අමුතුවෙන් කිවයුතු නැත. ඔලිම්පික් කමිටුව තම බූදලයක් බවට පත්කරගෙන සිටින නිලධාරීන් දෙදෙනා 2020 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවසර පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 01 වැනිදා පැවැති ක‍්‍රීඩා පනත සංශෝධනය කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ හැකි ඉක්මනින් ඔලිම්පික් කමිටු නිලවරණය පවත්වන බවයි. 

එම ප‍්‍රකාශයට මේ වන විට මාස 4 කට ආසන්න කාලයක් සම්පූර්ණ වී තිබුණත් ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමට කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැත. එවැනි ප‍්‍රකාශයක් කළේ ද යන්න පවා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මතකයේ තිබෙනවාද යන්න ද සැක සහිතය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැනි ප‍්‍රකාශයකි.

“මාස තුනක පමණ කාලයකදී ඔලිම්පික් කමිටුවේ නිලවරණය පවත්වන්න පුළුවන්. මේ වන විට අපි මෙම සංශෝධන පදනම් කරගෙන ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව වෙනස් කර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර තිබෙනවා”
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලවරණය 2011 වසරෙන් පසුව එනම් වසර 6 කින් පවත්වා නැත. නිලවරණය නොපවත්වා නිලධාරීහු පිරිසක් තනතුරුවල රැඳී සිටිති. 

මෙවැනි තත්ත්වයක් තුළ එම නිලධාරීන්ට තනතුරුවල රැඳී සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැත. ඔලිම්පික් කමිටුවේ තනතුරක රැඳී සිටීමට ප‍්‍රධානම සුදුසුකම වන්නේ ජාතික ක‍්‍රීඩා සංගමයක විධායක සභාව නියෝජනය කිරීමය. 

ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් තනතුරුවල කටයුතු කරමින් සිටින ඇතැමුන් මේ වන විට කිසිදු ජාතික සංගමයක තනතුරක් හෝ නොදරණ අතර ඒ අනුව මූලික සුදුසුකම ද නොමැතිව ඔවුන් කටයුතු කිරීම වඩාත් නීති විරෝධී වී තිබේ. 

ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව රැකගැනීමට ක‍්‍රීඩා බලධාරීන්ගේ කොන්ද කෙළින් වන තෙක් ශ්‍රී ලංකා ජනතාව දෑස් අයා බලා සිටිති. 

♦ සටහන: වරකාගොඩ ගමගේ