2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

මහ රෑ විල්පත්තුවේ හිර වූ රත්නපුරේ සංචාරකයෝ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 124

රත්නපුර පැල්මඩුල්ල සිට විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් යාපනය දෙසට ගමන් කරමින් සිටී පිරිසක් ගමන් ගත් බස් රථයක් මඩේ එරී ආපදාවට ලක්වූ බව වනාතවිල්ලුව පොලීසිය පැවසීය. පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් එලුවන්කුලම සිට කිලෝමීටර  විස්සකට වැඩි දුරකින් පිහිටි පලුගහතුරේ ප්‍රදේශයේදී මාර්ගය අබලන්වී බස් රථය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇත.

එළුවන්කුලම පිවිසුම් දොරටුවෙන් සහ මන්නාරම සිලාවතුරේ පිවිසුම් දොරටුවලින් මෙම මාර්ගය භාවිතා කිරීමට වෙන්කර ඇති වේලාව පෙරවරු හයේ  සිට සවස පහ දක්වා පමණි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් ගමන් කිරීමේදී අලි කොටි වලසුන්ගෙන් මිනිසුන්ට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහාත් වාහන ගමන් කිරීමේදී වනසතුන්ට ඇති වන හිංසාවන් වළක්වා ගැනීම සඳහාත් මෙම කාල වේලාවන් වලින් පිට ඇතුළුවීමට අවසර නොලැබේ.

විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිස එළුවන්කුලම පිවිසුම් දොරටුවෙන් සවස හතරට පමණ ඇතුළු වී ඇත්තේ යාපනයට ගමන් කළ හැකි කෙටිම මඟ එය වීම හේතුවෙනි. වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඇතුළුව හැත්තෑවකට ආසන්න පිරිස අතරමං වී ඇත්තේ මිනිස් පුළුටක්වත් නොමැති අලි, කොටි, වලසුන් ගැවසෙන මහ වන මැදය.

දහවල් කාලයේ වුවද සංචාරකයින්ට වාහනවලින් බැසීමට අවසරයක් නොමැති මෙම ප්‍රදේශයේ අතරමංවූ ජනතාව එළුවන්කුලම දක්වා රැගෙන ඒමට අදාළ අංශ දැනුම්වත් කර පියවර ගෙන ඇති අතර (22) වන දින අලුයම දක්වා නාවික හමුදා නිලධාරීන් දැඩි වෙහෙසක් දරා ඇත. එපමණක් නොව එම ජනතාවට මහවන මැද රැකවරණය ලබා දීමට මුල්ලිකුලම නාවික හමුදා කඳවුරේ නිලධාරින් කටයුතු කළ බව කියයි.

මෙවැනි අවස්ථා මීට පෙරද සිදුවී ඇති අතර නාවික හමුදාව ඒ සෑම අවස්ථාවකම ජනතාවට උදවු කිරීමට පියවර ගැනීම පැසසීමට ලක්කළ යුතුය. වර්තමානයේදී සංචාරක කර්මාන්තයේ නිරතවන රියදුරු මහතුන් තම ගමනාන්තය පහසුවෙන් නිමා කිරීම සඳහා අන්තර්ජාල මාර්ග උපදේශනය (google map) භාවිතා කරති.

ඒ මගින් කෙටිදුර මාර්ගය හඳුනා ගැනීමට හැකි වුවද ඒ මාර්ග භාවිත කිරීමේදී සැලකිලිමත්වීම වඩා වැදගත් වන්නේ බොහෝ අවස්ථාවල එවැනි මාර්ග භාවිතා කිරීම අනතුරැදායකවීම හේතුවෙනි. ඇතැම් විට google මගින් ලබාදෙන අබලන් අනතුරුදායක කෙටිදුර මාර්ගයට වඩා කිලෝමීටර දහයක් පහළොවක් වුවද දුර වැඩි මාර්ගයක් භාවිතා කිරීම සතුටට හේතුවක් වේවි.

පුත්තලම එළුවන්කුලම හරහා මන්නාරම දක්වා විල්පත්තුව හරහා වැටී ඇති කෙටිදුර මාර්ගය කිලෝමීටර 40ක පමණ බොරලු සහිත අනතුරුදායක මෙන්ම අනාරක්ෂිත මාර්ගයක් බව එම මාර්ගය භාවිතා කරන මගීන් දැනගත යුතුමය. පුත්තලමට වර්ෂාවක් නොමැති වුවද කලාඔය ඉහළ කොටසට වැසී වැටීමත් සමඟ කලාඔය හරහා ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. අනතුරට ලක්වූ ජනතාව පිටව ගියද බස්රථය සහ රියදුරු මහතාට දින කිහිපයක් එළුවන්කුලම නාවික හමුදා කඳවුරේ රැඳී සිටීමට සිදුවූයේ ජලය පිරීම හේතුවෙන් කලාඔයෙන් බස් රථය ගැනීමට නොහැකි වීමෙනි.

මන්නාරම සිට විල්පත්තුව හරහා ගමන් කිරීමේදි කලාඔය ජලයෙන් යටවුණු අවස්ථාවක් වුවහොත් සවස් කාලයේ නම් විල්පත්තුව පිවිසුම් දොරටුව අසල නතර වීමට හෝ දහවල් කාලයේදී නම් කිලෝමීටර 100 පමණ වැඩිදුරක් ගෙවා ආපසු ගොස් අනුරාධපුර හරහා මාර්ගය භාවිතා කිරීමට සිදුවේ. රියදුරු මහතුන් මේ පිළිබඳ දැනුම්වත් වීමෙන් සහ සොයා බැලීමකින් පසුව මෙම මාර්ගය භාවිත කිරීම සිදුකළ යුතුය. එසේ නොවුනහොත් මහවනයේ අතරමං වන වේලාව කොයි මොහොතකද යන්න සිතා ගැනීමට නොහැකි වේ.

කොළඹ පුත්තලම අනුරාධපුර හරහා යාපනයට දුර කිලෝමීටර 409 කි. කොළඹ පුත්තලම එළුවන්කුලම හරහා යාපනයට දුර 368කි. කොළඹ කුරුණෑගල අනුරාධපුර හරහා යාපනයට දුර කිලෝමීටර 415කි. කොළඹ පුත්තලම අනුරාධපුර හරහා මන්නාරමට දුර කිලෝමීටර 306 කි. කොළඹ පුත්තලම එළුවන්කුලම හරහා මන්නාරමට දුර කිලෝමීටර 245 කි. කොළඹ කුරුණෑගල අනුරාධපුර හරහා මන්නාරමට දුර කිලෝමීටර 308 කි. මේ දුර ප්‍රමාණයන් සැලකිල්ලට ගැනීමේදී කොළඹ සිට යාපනයටත් කොළඹ සිට මන්නාරමටත් ගමන් කළ හැකි කෙටිම දුර මාර්ගය වන්නේ එළුවන්කුලම විල්පත්තුව හරහා වැටී ඇති මාර්ගයයි. මේ දුර ප්‍රමාණයන් සැලකිල්ලට ගෙන මාර්ග භාවිතා කිරීමේදී කෙටිදුර මාර්ගය භාවිත කිරීමෙන් සිදුවිය හැකි තත්වයක් පිළිබඳ සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස යළි යළිත් රියදුරන්ට සිහිපත් කරමු.

Iරෝවන් පෙරේරා පුත්තලම