2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ලොකු පඩි ගන්න ලෝක නායකයෝ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

ලෝකයේ කොයි දීපංකරේ හිටියත් දේශපාලන ලොක්කන්යැයි කියූ පමණින් අපේ හිතේ මැවෙන්නේ එකම ආකාර ප්‍රතිරූපයකි. හොඳට කඳ බඩ ආරා ඇති සරුවට නෝට්ටු පිරුණු පසුම්බි ඇති, ඉඩකඩම්, යානවාහන මෙන්ම දැසි-දස්සන් පිරිවර සහිත හාදයින් ගැනය. මේ ප්‍රතිරෑපය එක්තරා විදියකට බැලූ කල වැරුදීමත් නැත. ඕනෑම රටක ලොක්කා ඒ රටේ ඇති සමස්ත වත්කම්වල පොල්මංකාර අයිතිකාරයා සේ සිතන්නට අප පුරුදු වී ඇති හෙයිනි. බොහෝවිට රටක ඉහළම වැටුප් ලබන්නා බවට පත්වන්නේද එවන් පාලකයෝය. ආර්ථික සමෘද්ධිය අතින් සලකා බලන විට නම් සැබැවින්ම ලෝක නායකයන් අතර ලොකුම ලොක්කා ලෙස සැලකිය හැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. අමෙරිකානු ජනාධිපතිවරයාය. ලොකුම ආර්ථික බලවතා හැටියට ගැනෙන රටේ නායකයා නිසා ලෝකෙන් ලොකුම පඩිය ලබන ලොක්කා හරි නම් ට්‍රම්ප් විය යුතුය. නැත්නම් දැන් අමෙරිකාවත් එක්ක හරි හරියට ආර්ථික ජල්ලි අල්ලන චීනයේ ලොක්කා වන ෂි පින්ග් ලෝකයේ ලොකුම පඩිය ලබන ලොක්කා විය යුතුය. නමුත් ඇත්ත තිත්තය. ලෝකයේ වැඩිම පඩිය ලබන නායකයන් අතර අංක එකට ඇවිත් සිටින්නේ මේ දෙදෙනාගෙන් එක් අයකුවත් නොවේ.

ලෝකයේ වැඩිම වැටුප් ලබන රාජ්‍ය නායකයා ලෙස අංක එකට ඇවිත් සිටින්නේ සිංගප්පූරුවේ අගමැතිවරයාය. ලී ක්වාන් යූ නමැති අපූරු අසහාය නායකයාට පින් සිදුවන්නට ලෝක ආර්ථිකයේ ආසියානු බලකේන්ද්‍රය බවට පත්වූ රටේ දැනට නායකයා වී සිටින ලික්වාන් යූ ගේ පුතාය. ඔහුගේ වැටුප මිලියන ගණනින් ලියැවෙන්නකි. ලෝකයේ රාජ්‍ය නායකයන් කිහිප පොලකටම වැටුප් ගෙවන්නට තරම් ඔහුගේ වැටුප ප්‍රමාණවත් බව කියැවේ. ලංකාවටත් පැමිණ ගිය ලී සින් ලුන්ග් වාර්ෂිකව ඩොලර් මිලියන 1.7ක (රුපියල් මිලියන 309.9ක්) පඩි ලබන්නේය.

ඒ අතින් බලන කල කෙතරම් කයිවාරු ගැසුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවන්නේ අඩු වැටුපකි. ඔහු යන්තම් ඩොලර් 400,000ක් වැටුප වශයෙන් ලබයි. එය ලංකාවේ මුදලින් 72,936,000 කි. අපට නම් ඒ මුදල ගණන් කරන්නටවත් බැරි තරම් වූ මහමෙරකි. නමුත් ට්‍රම්ප් හට නම් තමන්ගේ මේ ජනාධිපති වැටුප පයේ ගෑවෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැත. ඔහු ඒ මුදලින් ගන්නේ යාන්තම් ඇපෙන් බේරෙන්නට මෙන් ඩොලරයක් පමණි. ඒ කියන්නේ ලංකාවේ වත්මන් තත්ත්වයට අනුව සලකා බැලුවොත් නම් ට්‍රම්ප් ගන්නේ රුපියල් 182ක වැටුපකි. මේ අරුමයට හේතු වී ඇත්තේ ඡන්ද පොරොන්දුවකි. තමන් රටේ ලොක්කා වුවහොත් ජනතා මුදලින් ගෙවන ජනාධිපති වැටුපෙන් තඹ දොයිතුවක් හෝ නොගන්නා බවට ට්‍රම්ප් කලින්ම පම්පෝරි ගසා තිබුණි. දැන් ඔහු ඒ කටේ නරිවාදමට හරියන්නට කටයුතු කරමින් සිටියි. ඇත්තම කතාව නම් ට්‍රම්ප්ගේ පෞද්ගලික ආදායමේ හැටියට ඔහුට මේ ජනාධිපති වැටුප සොච්චමක් වීමය. ඔහුට සිය පෞද්ගලික ව්‍යාපාරවලින් ලැබෙන ආදායම බිලියන 03 කි.

මේ අනුව බැලූ කල පෞද්ගලික ආදායම් රහිතව තමන්ගේ සේවයට සරිලන වැටුපක් ලෙස ව්‍යවස්ථා සම්මතව රටේ ජනතාව ලබාදෙන ඉහළම වැටුප නිසි ලෙස ලබන්නේ සිංගප්පූරුවේ අගමැතිවරයාය. අධ්‍යාපනික සුදුසුකම් අතින් ඩබල් ඩිග්රිකාරයකුද වන ඔහු දේශපාලනයේද හොඳින් තෙම්පරාදු වූ තැනැත්තෙකි. ඔහුගේ වැටුප ලෝකයේ දෙවැනි තැනට ඉහළම වැටුප ලබන රාජ්‍ය නායකයාගේ වැටුප මෙන් තුන් ගුණයකි.

ඒ අනුව ලෝකයේ වැඩිම වැටුප් ලබන ලැයිස්තුවේ දෙවැන්නා හැටියට ගැනෙන්නේ හොංකොං හි පාලකයා වන කැරී ලෑම් ය. ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් 578,320 කි. එනම් ලංකාවේ මුදලින් රුපියල් 105,450,868.80 කි. තුන්වැනියා හැටියට ලෝකයේ ලොකුම වැටුපට හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයාය. වසරෙන් දෙකෙන් අගමැතිවරුන් ගෙදර යවන අගමැති පොරයක් පවතින ඕස්ට්‍රේලියාවේ අගමැති ධුරය දරන්නා හට ඩොලර් 409981ක්, ලංකාවේ මුදලින් නම් රුපියල් 74,755,936ක් වැටුප් ලෙස වාර්ෂිකව ලැබෙයි. දැන් ඒ වාසනාවන්තයා බවට පත්ව ඇත්තේ ස්කොට් මොරිසන්ය. ස්විට්ස්ටර්ලන්තයේ ජනාධිපති ඇලෙයින් බර්සෙට් හට වාර්ෂිකව ඩොලර් 401,929ක් වැටුප් ලෙස ලැබෙයි. ලංකාවේ මුදලින් නම් එය රුපියල් 73,287,736 කි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් 400,000 එන්නේ ඊළඟටය. එනම් ඔහු සිටින්නේ පස්වැනි තැනටය. නවසීලන්තයේ අලුතෙන් පත්වූ ළාබාල අගමැතිවරිය වන ජසින්ඩා ආර්ඩන් ලෝකයේ වැඩිම පඩියක් ලබන හයවැන්නාය. ඇයට ව්‍යවස්ථානුකූලව වාර්ෂිකව වෙන්ව ඇති මුදල ඩොලර් 345,385 කි. ලංකාවේ මුදලින් නම් රුපියල් 62,977,500 කි. කුළුදුල් දරුවාත් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීමෙන් ඇය පසුගිය කාලයේ මාධ්‍ය අවධානය දිනාගත්තාය. 

මෑතකදී තමන්ගේ රටේ ජනතාවට නොමිලේ බස් සහ දුම්රිය පොදු ප්‍රවාහන සේවා සපයන්නට තීන්දු කළ, ඒ නිසාම හදිසියේ ලෝක නායකයන් අතර කැපීපෙනෙන චරිතයක් බවට පත්වූ ක්ෂේවීයර් බෙටේල් ලක්සම්බර්ග් රටේ නායකයාය. අගමැති ක්ෂේවීයර් වාර්ෂිකව ඩොලර් 340,000ක වැටුපක් ලබමින් ලෝකයේ වැඩි පඩි ලබන ලොක්කන් අතර 7 වැනියා බවට පත්ව තිබේ. ඔහුගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් 61,995,600 කි. සෙබස්තියන් කර්ෂ් ඕස්ට්‍රියාව නමැති පුංචි රටේ අගමැතිවරයාය. වාර්ෂිකව ඩොලර් 330,396ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් 60,244,406ක් ඔහු වැටුප් වශයෙන් ලබයි.

ගෝතමාලාවේ ජනාධිපති ජිම් මොරොලේස් ද හොඳ වැටුපක් ලබන්නෙකි. ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් 326796 කි. ලංකාවේ මුදලින් රුපියල් 59,587,983 කි. මේ නිසා ඔහු වැටෙන්නේ වැඩිම වැටුප් ලබන ලොක්කන් අතර 9 වැනියා හැටියටය. නිතර පුවත් මවන හාදයකු වන කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ලොකු පඩියක් ගන්නා 10 වැනියාය. වාර්ෂිකව ඔහුට වෙන්කර ඇත්තේ ඩොලර් 273809 කි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 49,926,336 කි. ජර්මනියේ චාන්සලර් පදවිය උසුලන යකඩ ගැහැනිය ඇන්ජෙලා මර්කල් වාර්ෂිකව ඩොලර් 244000ක් උපයයි. එය ලංකාවේ මුදලින් රුපියල් 44,490,960 කි. ඇය පත්ව ඇත්තේ මේ ලැයිස්තුවේ 11 වැනි තැනටය.

වත්මන් ලෝකයේ හොඳ ප්‍රසිද්ධියක් උසුලන නිතර පුවත් මවන රාජ්‍ය නායිකාවක වන බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, හට මෙම ලැයිස්තුවේ හිමිවන්නේ 19 වැනි තැනයි. ඇයගේ වැටුප ඩොලර් 214247 කි. එනම් ලංකාවේදී නම් ඇය රුපියල් 39,065,798ක පඩිකාරියකි. ලෝක සාමය ගැන කතා කිරීමේදී උතුරු දකුණු කොරියා රාජ්‍ය අතර සාමයට මුල් වූ දකුණු කොරියා අගමැති මුන්ජේ ඉන් ගැනද කතා නොකරම බැරිය. ඔහු සිටින්නේ වැඩි පඩි ලබන නායක ලැයිස්තුවේ 20 වැනියා ලෙසටය. ඒ වැටුප ඩොලර් 211,320 කි. එනම් ලංකාවේ රැපියල් 38,532,089 කි.

ඇන්ජෙලා මර්කල්ගෙන් පසුව පිළිවෙළින් 12 සිට 18 දක්වා ලැයිස්තුගතව ඇත්තේ වැඩියෙන් ප්‍රසිද්ධියක් නැති නායක කාරකාදීන් පිරිසකි. ඔවුන් පිළිවෙළින්, එසටෝනියාවේ ජනාධිපති කර්ස්ටි කාල්ජුලේඩ් (රුපියල් 43,818,490), අයර්ලන්ත නායක ලියෝ වර්ද්කාර් (රුපියල් 42,792,463), බෙල්ජියම් අගමැති චාල්ස් විටෙල් (රුපියල් 42,009,678), අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් (රුපියල් 41.938,200), ස්වීඩන් අගමැති ස්ටෙෆොන් ලොෆේන් (රුපියල් 40,891,204), නෙදර්ලන්ත අගමැති මාර්ක් රෑට් (රුපියල් 40,489,144), ඩෙන්මාර්ක් අගමැති ලාර්ස් රාස්මූසේන් (රුපියල් 39,969,840) ලෙස දැක්විය හැකිය.

ලෝකය පුරා පැතිර සිටින මේ වැඩි පඩි ලබන ලොක්කන් අතර කිසිම පඩියක් නොලබන ගෞරවපූර්ව රාජ්‍ය නායකයෙක්ද වෙයි. ඒ ලෝකයේ අඩකටත් වැඩි ජනතාවගේ හද තුළ ද රාජකීයත්වය උසුලන වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන පාප්තුමාය. උන්වහන්සේ සිය පදවිය දරමින් ජනතා සේවය කරන්නේ තඹ දොයිතුවක්වත් ලබා නොගෙනය.

►සුගත් පී. කුලතුංගආරච්චි