2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

වාර්තා පැන්නූ අධිවේගයේ අාදායම

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

මහා මාර්ගයක මුදල් ගෙවා ගමන් කිරීම විශ්වාස කළ නොහැකි කාලසීමාවක් මෙරට තුළ තිබිණි. නමුත් අද වනවිට එය සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක ගුවන් තොටුපොළ අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග පද්ධති දෙකක් වර්තමානයේ අපට ඇත. ගමනාගමනයේ පහසුව හා ඉතිරිවන කාලය පිළිබඳ තේරුම්ගෙන සිටින ජනතාව අධිවේගී මාර්ගවල වටිනාකම මැනවින් දනිති.

කඩවත සිට මාතර දක්වා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිස නිතිපතා ඉහළ යමින් පවතී. 2016 දෙසැම්බර් මාසයේ 10 වැනිදා, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉහළම දෛනික ආදායම ලෙස රුපියල් මිලියන 17.6ක් ලෙස වාර්තා විය. ඉන් වසරකට පසුව 2017 දෙසැම්බර් මස 22 වැනිදා එයින් උපයාගත් ආදායම රුපියල් මිලියන 30 කි. ඒ අනුව බලන විට වසරක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. අධිවේගී මාර්ග පද්ධති කළමනාකරණ අංශය පෙන්වාදෙන ආකාරයට මෙරට අධිවේගී මාර්ගයන්හි දිනෙකට වාහන පනස් දහසක්, හැත්තෑපන් දහසක් අතර ප්‍රමාණයක් ගමන් කරයි.

පසුගිය සතියේ ඇරඹි උත්සව සමයත් සමඟ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවලින් ලබන දෛනික ආදායම මිලියන 08කින් පමණ ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය පැවසීය.
සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයන්හි දිනෙකට වාහන 75000ක් පමණ ධාවනය වන අතර ඉන් ලබන ආදායම රුපියල් මිලියන 20ත් 22ත් අතර ප්‍රමාණයකි. පසුගිය 21 වැනි සිකුරාදා එම ගණන මිලියන 32ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එදින අධිවේගී මාර්ගයන්හි ගමන් කළ වාහන ප්‍රමාණය 120,000කට අධිකය.

පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ දක්වා මෙරට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන ප්‍රමාණය 15%කින් පමණ වැඩි වී ඇති අතර ආදායමද 8%කින් පමණ ඉහළ ගොස් තිබේ. පසුගිය 25 වැනිදාට යෙදුණු නත්තල් උත්සවය හේතුවෙන් එම සතියේ මැද භාගයේ සිට මෙම වාහන ගමනාගමනයේ ඉහළ යාම නිරීක්ෂණය වූ බවත් විශේෂයෙන්ම වසරේ පාසල් නිවාඩු වාරයන් වන අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර් යන මාසවලදී අධිවේගී මාර්ගයන්හි ගමනාගමනය ඉහළ යන බවද අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වන්නේ 2011 වසරේදීය. 2013 වසරේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත විය. පැය ගණනින් ජනතාවගේ කාලය නාස්ති කරමින්, විශාල වෙහෙසකින් යුතුව දකුණ සහ බස්නාහිර අතර ගමන් කරන ලද ජනතාව වර්තමානයේ විශාල තෘප්තියකින් පසුවන බැවින් මෙරට ආර්ථිකයටද එය සැලකිය යුතු ලෙස වාසියක් වී තිබේ.

අධිවේගී මාර්ගයෙහි ආදායම ඉහළ යාම පිළිබඳව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ හා නඩත්තු අංශයේ ප්‍රකාශකයකු දේශයේ අපට මෙලෙසින් අදහස් පළ කළේය.

"දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ලෙස හඳුන්වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගයයි. මේ මාර්ගවල සම්පූර්ණ දුර එකතුව කිලෝමීටර 170ක් පමණ වෙනවා. කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ ඉඳලා කටුනායක, සීදුව තෙක් ගමන් කරනවා. පිටත වටරවුම් මාර්ගය කියන්නේ කඩවත සිට කොට්ටාව දක්වා කොටසට. දක්ෂිණ අධිවේගී මාර්ගය කියන්නේ කොට්ටාවේ සිට මාතර, ගොඩගම දක්වා වූ මාර්ගයටයි.

කඩවත සිට මාතර ගොඩගම දක්වා සාමාන්‍ය අගයක් ලෙස දෛනිකව වාහන 50000ක් 75000ක් වගේ හුවමාරු ස්ථාන හරහා ගමන් කරනවා. කටුනායක අධිවේගී මාර්ගයේ දෛනිකව වාහන 25000කට වැඩියෙන් ගමන් කරනු ලබනවා. නමුත් සති අන්තයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල වැඩිවීමක් දැකගැනීමට පුළුවන්.

පසුගිය 21 වැනිදා මෙම අධිවේගී මාර්ගවලින් උපයාගත් මුදල රුපියල් මිලියන 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගයන්ගෙන් උපයාගත් ඉහළම ආදායම වෙනවා. පාසල් නිවාඩුවත්, නත්තල සහ වසර අවසානයේ යෙදී ඇති නිවාඩුවත් සමඟම ජනතාවගේ ගමනාගමන කටයුතුවල මෙලෙස ඉහළ යාමක් සිදුවී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව ආදායමෙන් සියයට 08ක වැඩිවීමක් වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය වසර පහක කාලය තුළ අධිවේගී මාර්ගවල ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 3082ක ආදායමක් උපයාගෙන තිබෙනවා."

මාර්ග පද්ධතිය රටක යටිතල පහසුකම් පෙන්වන එක් දර්ශකයකි. කොළඹ වාණිජ නගරයට සීමා වී තිබූ කර්මාන්ත හා ආයෝජන මෙම අධිවේගී මාර්ග ආරම්භයත් සමඟම සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වෙමින් තිබේ. ජනතාව මින් ප්‍රයෝජන ගත යුතුය. එකී ආදායම රටේ ආර්ථිකය තවත් සවිමත් කිරීමට උරදෙනු ඇත. එවිට නාගරික රථ වාහන තදබදයෙන් විනාශ වන රටේ ජාතික ධනය, විශේෂයෙන්ම එතෙරට ඉන්ධන සඳහා ඇදීයන අපේ විනිමය රැකගැනීමට මෙම පද්ධතියෙන් හැකිවනු ඇත.