
ලෝකයේ සමාජ ජාල අතරින් අංක එකේ රැඳී සිටින්නේ ට්විටර් සමාජ ජාල වෙබ්අඩවියයි. ගුණාත්මකභාවය, ජනප්‍රියත්වය මෙන්ම ඉහළ සමාජයේ පිළිගැනීමට ලක්ව ඇති ප්‍රමුඛතම සමාජ ජාලය මෙයයි. එහෙත් අප රට තුළ ජනප්‍රියතම සමාජ ජාලය ෆේස්බුක් වෙයි. එසේ හෙයින් බොහෝ දෙනාට ට්විටර් භාවිතය පිළිබඳ ඇති සාක්ෂරතාවය හා ට්විටර් පිළිබඳ ඇති අවබෝධය ඉතා අල්පය. එම නිසාම ලක්වාසී ඔබට ට්විටර් පිළිබඳ යම් අවබෝධයක් ලබාදීමේ අරමුණින් දේශයේ අපි මේ සටහන තබමු.
ට්විටර් සමාජ ජාලය ආරම්භය සනිටුහන් වන්නේ 2006 වර්ෂයේ ජූලි මාසයේදීය. අන්තර්ජාතික කෙටි පණිවිඩ සේවාවක් ලෙස ආරම්භ වන මෙම සමාජ ජාලයේ නිර්මාපකයන් වන්නේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වූ ජැක් ඩෝසි ඇතුළු කණ්ඩායමයි. නෝක් ස්ටීල් ස්ටෝන්, බිල් ස්ටෝන් සහ එවන් විලියම් එයට අයත් වූහ. මුල් කාලීනව ට්විටර් කුමක්දැයි පැහැදිලි කිරීම පහසු නොවුණි. සමාජයීය උපයෝගීතාවක් සහිත මාධ්‍යයක් වූ ට්විටර් ක්‍රමයෙන් සිය අනන්‍යතාව අන්තර්ජාලය තුළ තහවුරු කරගැනීමට සමත් විය. අද වනවිට ප්‍රකට සමාජ ජාලයක් වන ට්විටර් සඳහා අපට ලබාදිය හැකි නිර්වචනය නම් එය ප්රවෘත්ති සහ සමාජජාලකරණ සේවාවක් බවයි. අපි කවුරුත් අසා ඇති ට්විටර් පණිවිඩ සමඟ මෙම ජාලය ක්‍රියාකාරී වේ.
ට්විටර් ගිණුමක් සකසාගැනීම හරහා මෙම සමාජ ජාලයේ ලියාපදිංචිය ලබාගත හැකිය. සෙසු සමාජ ජාලවල ගිණුම් සකසාගන්නා පිළිවෙළ අනුරෑපීව එය සිදුකරගත යුතු වේ. ට්විටර් භාවිතයේදී අන්තර්සම්බන්ධතා ගොඩනැගෙන්නේ Follow කිරීම් හරහායි. මෙහිදී අපට අවශ්‍ය තොරතුරු ඉක්මනින් අප වෙත ගලාගෙන ඒමයි. උදාහරණයක් ලෙස අප යම් අයෙක්, අයකුගේ ට්විටර් ගිණුමක් Follow කළ විට ඔහුට ඒ බව තම ගිණුමේ Timeline එක තුළ පෙන්නුම් කරනු ලබයි. එමෙන්ම ඔහු විසින් දමන ට්විටර් පණිවිඩය අපට පෙන්නුම් කරනු ලබයි. එසේම ඔහුට අපව පෙරළා Follow කළ හැකිය. එහෙත් ජනප්‍රිය ගිණුම් හිමියන්ගෙන් පෙරළා Follow කිරීම් සිදුනොවේ.
ට්විටර් පණිවිඩ පිළිබඳ සඳහනේදී පළමුව කිවයුත්තේ ට්විටර් පණිවිඩයක ඇතුළත් අක්ෂර ප්‍රමාණය සීමාසහිත බවයි. මුල් කාලීනව අක්ෂර 140කට සීමා වූ අතර එය 2017 නොවැම්බරයෙන් පසුව දෙගුණ කිරීමට සමාගම කටයුතු කර තිබේ. එමෙන්ම කාලීනව ට්විටර් පණිවිඩ සඳහා ඡායාරූප, වීඩියෝ, සජීවී වැඩසටහන් එක්කර ගැනීමේ පහසුකම් ලබා දී තිබේ. යමෙක් ට්විටර් පණිවිඩ එක්කළ විට එය කැමැත්ත පළකිරීමට, අදහස් දැක්වීමට මෙන්ම බෙදාගැනීමටද හැකියාවක් ඇත. Reply සහ Retweet පහසුකම් ඒ වෙනුවෙන් සලසා දී තිබේ. අද වනවිට එක දිනක ට්විටර් භාවිත කරන්නෝ මිලියන 100ක් පමණ වෙති. ට්විටර් පණිවිඩ පිළිබඳ සැලකීමේදී එය ප්‍රබල සමාජ අවියක් ලෙසත් හැඳින්වීමේ හැකියාව තිබේ.
අද වනවිට රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා නිලවශයෙන් ට්විටර් භාවිත වෙයි. බොහෝ රටවල රාජ්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන් ජනතාව ඇමතීමට හා නිල දැන්වීම් සිදුකිරීමට ට්විටර් භාවිතයට ගනිති. මෙහි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ රුසියාවේ අමෙරිකානු තානාපති මයිකල් ඒ. මැක්ෆාල්ය. 2011 වසරේදී ඔහුගේ ට්විටර් භාවිතය හරහා මෙම ප්‍රවණතාව ආරම්භ වී තිබේ. 2014 වර්ෂයේදී එලිසබෙත් මහ රැජන ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ විවෘත කිරීමකට සහභාගීවීම සඳහා ඇගේ පළමු ට්විටර් පණිවිඩය යවනු ලැබීය. එය ට්විටර් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. මීට කලකට ඉහතදී සිදුකරනු ලැබූ වෙබ්අඩවි සමීක්ෂණයකට අනුව එක්සත් ජාතීන් නියෝජනය කරන රටවල් 193 අතරින් 153කම රාජ්‍ය නායකයෝ ට්විටර් ගිණුම් පිහිටුවනු ලැබූහ. අද වනවිට එය තවත් ඉහළ ගොස් තිබිය හැකිය. එමෙන්ම විවිධ අවස්ථාවලදී ලොව පුරා විදේශ ඇමැතිවරුන් 505 දෙනෙක් ට්විටර් භාවිත කරන ලදහ. එහෙත් මෙම රාජ්‍ය නායකයන් බොහෝ දෙනා වෙනත් දේශපාලනඥයන් ඇතුළුව සාමාන්‍ය ගිණුම් හිමියන් අනුගමනය නොකරති.

මීට අමතරව ලොව ප්‍රකට කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු බොහෝ දෙනා ට්විටර් භාවිත කරති. එසේ වීමට හේතු කාරණා බොහෝය. ගිණුමේ ආරක්ෂාව, සරල බව, තොරතුරු පිළිබඳ විශ්වාසනීයභාවය, ප්රචාරණයේ ඇති ඉහළ ශක්‍යතාව ආදී බොහෝ දේ බලපායි. එමෙන්ම Verified Account හෙවත් ස්ථාපිත ගිණුම් මේ සඳහා විශාල පිටුවහලක් ලබාදෙයි. ට්විටර් ගිණුම් නමට ඉදිරියෙන් දිස්වන නිල් පැහැති ලකුණ හරහා එම ගිණුම සත්‍යවශයෙන්ම අදාළ පුද්ගලයාට හෝ ආයතනයට හිමි බව ට්විටර් විසින් තහවුරු කරනු ලබයි. 2009 වර්ෂයේදී ව්‍යාජ ගිණුම් සම්බන්ධ ඇතිවූ සිදුවීම් දාමයක ප්‍රතිඵලයක් ලෙස මෙම හඳුන්වාදීම සිදුකර තිබේ. ප්‍රකට හා ඉහළ සමාජ පිළිගැනීමක් ඇති අය සඳහා මෙම අවස්ථාව හිමි විය. පසුව ඒ පිළිබඳවත් විවිධ ප්‍රශ්න මතුව තිබේ. 2018 වර්ෂයේදී සාමාන්‍ය ගිණුම් හිමියන්ටත් මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී තිබේ.

වර්තමානයේ ට්විටර් හිමියන් අතරින් වඩාත් වැඩියෙන් කතාබහට ලක්වෙන චරිතය වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප්ගේ 2016 ජනාධිපතිවරණ ව්‍යාපාරය ට්විටර් සමාජ ජාලයටත් අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඔහුගේ බොහෝ ට්විටර් පණිවිඩ අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නාක් මෙන් අවධාරණාත්මක ස්වභාවයක් උසුලන බව විචාරක මතයයි. අමෙරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා ට්විටර් හරහා ජනාදරයට පත්වූ චරිතයක් බවද සඳහන් කළ යුතුය. මිලියන 102ක පිරිසක් ඔහුගේ ට්විටර් ගිණුම අනුගමනය කර තිබේ. අන්තර්ජාල දත්ත අනුව ඔහු වැඩිම අනුගාමිකයන් සිටින නම් අතරින් තෙවැන්නාය. අපි මේ සමඟ එම ලැයිස්තුව දක්වමු.
ට්විටර් භාවිතය පිළිබඳ වසර කිහිපයකට ඉහත දී සිදුකරන ලද අන්තර්ජාල සමීක්ෂණයකට අනුව කියැවෙන්නේ මිලියන 103,000ක පමණ පිරිසක් ට්විටර් භාවිත කරන බවයි. එයින් 16,000ක් කාන්තාවන්ය. ක්‍රමයෙන් වර්ධනය වී අද වනවිට සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් ට්විටර් භාවිතයේ දී සංක්ෂිප්ත බව වැදගත් වෙයි. එම නිසාම අදහස් සංක්ෂිප්තව ගොනුකර ගැනීමේ නොහැකියාව හරහා ඇතැම් පිරිස් ට්විටර් භාවිත නොකරති. ප්රවෘත්ති මාධ්‍යයක් ලෙස ඉතා කඩිනම් සහ ප්‍රබල, සැලකිය යුතු නිරවද්‍යතාවක් සහිත මාධ්‍යයකි. එම නිසාම ලංකාව තුළ මෑත කාලීන ට්විටර් භාවිතයේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ. අනෙකුත් සමාජ ජාල හා සැසඳීමේදී හානිකර බව අවම සමාජ ජාල තොරතුරැ මාධ්‍යයක් ලෙස ට්විටර් අවසානයේ දී අපිට හැඳින්විය හැකිය.
►චමිඳු නිසල්