
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ කෙටි කාලයේදී මෙම අතුරු සම්මත ගිණුම සකස්කර තිබුණු අතර නව රජය එම ගිණුමට කිසිදු සංශෝධනයකින් තොරව ඉදිරිපත් කර සම්මත කරගත් බව සැලවිය. කෙසේ වුවද අතුරු සම්මත ගිණුම අනුමත වීමෙන් පසුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අතුරු සම්මත ගිණුම තාවකාලිකව සම්මත කර ගත්තද 2019 ජනවාරි මාසයේදී සාමාන්‍ය අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පෙබරවාරි මාසයේදී සම්මත කරගෙන නව රජයේ ඉදිරි වියදම් සඳහා අලුත් අයවැය ලේඛනය පදනම් කරගන්නා බවය. ඒ අනුව පෙනී යන්නේ අතුරු සම්මත ගිණුම මාස 04ක් සඳහා ඉදිරිපත් වුවද එතරම් කාලයක් එය පාවිච්චි නොකර අයවැය ලේඛනය අනුව රජයේ වියදම් සිදුකිරීමට බාධාවක් නොමැති බවය. ඒ නිසාදෝ ආණ්ඩුව අතුරු සම්මත ගිණුම පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වා සකස් කළ ගිණුමම ඉදිරිපත් කළ බවක් පෙනෙන්නට තිබේ. අනිත් කාරණය වන්නේ අතුරු සම්මත ගිණුම ඉතාම හදිසියේ සම්මත කර ගැනීමට අවශ්‍යව තිබීමය. එය නොකළා නම් ඉදිරි වර්ෂයට කිසිදු වියදමක් සිදුකළ නොහැකිව මුළු රාජ්‍යතන්ත්‍රයම අකර්මණ්‍ය වීමට ඉඩ තිබුණි. පාර්ලිමේන්තු සභාවාරයේ 2018 වසරේ අවසාන සභා රැස්වීම එය වූ අතර අතුරු සම්මත ගිණුම එයට ඉදිරිපත් කර සම්මත කරගැනීම අත්‍යවශ්‍යව තිබුණි. එම කාරණය සැලකිල්ලට ගෙන යළිත් ගිණුමක් නොසාදා තනා තිබූ ගිණුමම ප්‍රයෝජනයට ගෙන තිබේ.
සම්මත වූ අතුරු සම්මත ගිණුම අනුව 2019 මුල් මාස 4 තුළ ඇස්තමේන්තු කර තිබූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 1765ක් විය. එය වගුවේ සටහන් වේ.

අතුරු සම්මත ගිණුම අනුව මාස 4ක් සඳහා වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය. එය රුපියල් කෝටි 5772කි. මහරගම අපේක්ෂා රෝහලේ මෙන්ම සෙසු රෝහල්වලද රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමේ ගැටලු මතුවීම නිසා පසුගිය දිනවල ප්‍රතිකාර කිරීම පවා ඇනහිට තිබූ අතර අතුරු සම්මත ගිණුම අනුමත කිරීමෙන් පසු එම අත්‍යවශ්‍ය ඖෂධ ආදිය ගුවන් මගින් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
ඊළඟට වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ අගමැතිගේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු යන අමාත්‍යංශවලටය. ඒ සඳහා රුපියල් කෝටි 3100 වෙන්කර ඇත. අගමැතිවරයාට පැවරුණු අලුත් අමාත්‍යංශ හා ආයතන සංඛ්‍යාව වැඩිවීම නිසා මෙලෙස වැඩි මුදලක් වෙන්කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 3053කි. අධ්‍යාපන අමාත්‍යංශය සඳහා නිල ඇඳුම් වවුචර් නිකුත් කිරීම සහ වෙනත් ගෙවීම්වලට මෙම මුදල යොදවන අතර නවතා තිබූ පාසල් පොත් නිකුත් කිරීමද යළි අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් කෝටි 1980ක් සහ කෘෂිකර්ම අමාත්‍යංශයට කෝටි 2776ක්ද, ජනාධිපතිට අයිති මහවැලි සහ පරිසර අමාත්‍යංශයට කෝටි 1266ක් සහ ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 924ක්ද අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර ඇත.
මේ හැර ජනාධිපති සඳහා කෝටි 439ක්, අගමැති වැය ශීර්ෂයට කෝටි 80, විපක්ෂනායක කාර්යාලයට, එක්කෝටි අසූ දෙලක්ෂයක්, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දෙකෝටි 60 ලක්ෂයක්, පාර්ලිමේන්තුව සඳහා කෝටි 91ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට කෝටි 289ක්, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට කෝටි 125ක්ද වෙන්කර තිබේ. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 113ක් මැතිවරණ කොමිෂන් සභාව සඳහා කෝටි 25ක් වෙන්කර තිබේ.
නව ගිණුමේ මුදල් භාවිත කර මුලදී නවතා තිබූ ගම්පෙරළිය වැඩසටහන 2019 ජනවාරි මස සිට අරඹන අතර මෙතෙක් එක් ආසනයකට දුන් මිලියන 200 මුදල මිලියන 300 දක්වා ඉහළ දමන බවද ආණ්ඩුව කියයි. එසේම මෙම වියදම් සඳහා අවශ්‍ය යැයි ගණන් බලා ඇති බිලියන 990ක් හෙවත් කෝටි අනූ නව දහසක මුදල විදේශ හා දේශීය ණය වශයෙන් ලබාගන්නා බවද ගිණුම් යෝජනාවේ දැක්වේ. මේ වනවිට ණය ලබා ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අතුරු සම්මත ගිණුම අනුමත කර ගැනීමෙන් පසු පැවසුවේ ලෝකයේ සහ රටේ ආර්ථික තත්ත්වය සලකා බලා ජනතාවට දියහැකි උපරිම සහන දීමට කටයුතු කරන බවය. පසුගිය නොවැම්බර් මාසයේ අයවැය සකස් කරමින් සිටින අවස්ථාවේදී අර්බුදකාරී වාතාවරණය ඇතිවූ නිසා සැලසුම් කළ පරිදි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීමෙන් පසුව සම්මත කරගත නොහැකි විය. 2019 වසර සඳහා කලින් සකස් කළ අයවැයම අවශ්‍ය සංශෝධන කර ලබන ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පෙබරවාරි මාස සම්මත කරගන්න බව මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
දැනට සම්මත කර ඇති අතුරැ සම්මත ගිණුම සහ මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කිරීමට සූදානම් වන අලුත් අයවැය ලේඛනය යන දෙකම ක්‍රියාත්මක කිරීමට සිදුවුවහොත් යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවන්නේදැයි කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ නියමිත අයවැය ලේඛනය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් පසු අතුරු සම්මත ගිණුම ඉබේම අහෝසි වන බවයි. මුදල් ඇමැති ජනවාරි පෙබරවාරිවල අයවැය අනුමත කරගතහොත් එම අයවැය ලේඛනය එදින සිට ක්‍රියාත්මක වන බව ඔහු කීය. එසේ වුවද කෙටිකාලයකට හෝ අතුරු ගිණුමෙන් කළ වියදම් අයවැය ලේඛනය මගින් ආවරණය කරගත යුතු බවද ඔහු කියයි. එම වියදම්ද අයවැය ලේඛනයට අඩංගු විය යුතුය. අයවැය ලේඛනය, අයවැය පනතක් වන නිසා එය සෙසු ගිණුම් අභිබවා බලාත්මක වේ. ඒ නිසා අතුරු සම්මත ගිණුමකින් අවශ්‍ය හදිසි මුදල් වෙන්කර ගැනීම පිළිබඳ කිසිදු ගැටලුවක් පැන නොනගී.
2015 වසරේ යහපාලන රජය බලයට පත්වූ පසු මුලින් අයවැය ලේඛනය සම්මත වී තිබුණද දින 100 අතුරු අයවැයක් ගෙනැවිත් සම්මත වූ අයවැය නොසලකා වියදම් කළ බව ඔහු කියයි. මෙහිදීද බලපැවැත්වූයේ පසුව ගෙනා කුඩා අයවැයයි. ඉන් පසුව අලුත් අයවැයක් සම්මත කරගෙන ක්‍රියාත්මක වී තිබේ. ඒ නිසා අතුරු සම්මත කරගෙන ක්‍රියාත්මක වී තිබේ. ඒ නිසා අතුරු සම්මත ගිණුම එසේම තිබියදී අලුත් අයවැයක් ගෙන ඒමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව ඔහු අවධාරණය කරයි.
►යසවර්ධන රුද්රිගු