
ඉන්ධන මිල වැඩිවන විට මගී බස් සංගම් බස් ගාස්තු වැඩි කරන මෙහෙයුම් අරඹයි. වර්ජනය කරන නිවේදන නිකුත් කරන අතර පොදු ජනතාව ඇපයට තබා ගෙන අරමුණ සාක්ෂාත් කරගනියි. ඉන්ධන මිල අඩු වන අවස්ථාවේ දී සාපේක්ෂව බස් ගාස්තු අඩුකරන්නට ලැදියාවක් නැත. බස් සංගම්වලට අවනත වන නිලධාරීන් හා මැති ඇමැතිවරු නිහඬය. දින පනස් එකක් පැවැති ආණ්ඩුව හා පසුගියදා නැවත බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තරගයට ඉන්ධන මිල අඩු කළේය. මගී ජනතාවට සහනයක් දැනෙන තරමට බස් ගාස්තුව අඩු කරන්නට සමත් වී නැත. මෙය අවධානයට ගත යුතු කරුණකි.
2002 වසරේ සිට මෙරට බස් ගාස්තු අඩු වැඩි කිරීම ගැන සලකා බලන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වෙයි. ඉන්ධන මිල, සේවක වැටුප් හා කර්මාන්තයට බලපාන අදාළ සාධක සලකා බලා ගාස්තු සංශෝධනයට ඉඩ ලැබේ. මගී සේවාවට දරාගත නොහැකි තරමට අනපේක්ෂිතව පිරිවැය ඉහළ යන අවස්ථාවක අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයක් ද දක්වා ඇත. සන්ධාන ආණ්ඩුව හඳුන්වා දුන් මිල සූත‍්‍රය බස් මගීන්ට සෑහෙන කෙනෙහිලිකම් කළේය. නිතර ගාස්තු නංවන ලදී. එහි බලපෑම පාලනය කරගත නොහැකි තරමට දැනෙන අවස්ථාවේ දී එවකට සිටි අමාත්‍යවරයා බස් ගාස්තු සංශෝධනය කළ යුතු ආකාරය ගැන අලුතින් හිතා බලන්නට ඉඩ දෙන කමිටුවක් යෝජනා කළ අතර කැබිනට් මණ්ඩලය එම කමිටුව පත් කිරීම අනුමත කළේය. කමිටු නැත. වාර්ෂික සංශෝධන කරන ප‍්‍රතිපත්ති අහෝසි වී තිබේ. බස් මගීන්ගේ පහසුව ගැන කිසිම තැකීමක් නැත. හතළිහක් පනහක් පමණ මගීන් සමඟ ධාවනය කළ යුතු බස් රථවල එය මෙන් දෙතුන්ගුණයක් මගීන් පටවා ගෙන මාර්ග නීති නොතකා ධාවනය කරන බස් සේවාව පවත්වාගෙන යන්නේ අලාභ සහිතව බව සඳහන් කරන්නේ කෙසේද?
2018 මැයි මාසයේ දී ඩීසල් ලීටරයක මිල රු. 109.00 කි. එම වසරේ සැප්තැම්බර් මාසයේ දී රු. 123.00 දක්වා ඉහළ ගියේය. බස් ගාස්තු හතර වතාවක දී වැඩි කළේය. රුපියල් දහයකට පැවැති අවම ගාස්තුව රුපියල් දෙකකින් වැඩි කර තිබේ. අද වන විට ඩීසල් ලීටරයක මිල රු. 101.00 කි. ලීටරයක මිල අඩුම තරමින් රු. 22.00 කින් පහත හෙළා තිබේ. එක ලීටරයකින් බස් රථයක් ධාවනය කළ හැකි දුර ප‍්‍රමාණයක් තිබේ. සාමාන්‍යයෙන් දිනක ඉන්ධන පිරිවැය ගණන් බැලීම අපහසු නැත. එසේ තිබිය දී බස් සංගම් සිය ගාස්තු සියයට හතරකින් අඩු කරන්නට එකඟ වී ඇත. රුපියල් විසි පහක බස් ගාස්තුවකින් අඩු කරන්නේ රුපියලකි. අවම ගාස්තුව අඩු නොකෙරේ. රුපියලක ඉතිරියෙන් බස් මගි ජනතාවට ලැබෙන්නේ මොනවාද? බස් කොන්දෝස්තරවරු එම රුපියලත් දෙන්නේ නැත. ඉතිරි මුදල දෙන්නට මාරු කාසි නැතැයි කියා දොස් තබන්නේ ද මගී ජනතාවටමය.
ජාතික ගමනාගමන කොමිසම අනුව මෙරට ධාවනය වන බස් රථයක බස් ගාස්තුව මගීන්ට පෙනෙන පරිදි බස් රිය තුළ ප‍්‍රදර්ශනය කළ යුතුය. ගමන් ආරම්භ කරන වේලාව සහ ගමන අවසන් කරන්නට අපේක්ෂා කරන වේලාව ද, බස් රියේ, රියැදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ බලපත‍්‍ර අංක සහිත නම් ද ප‍්‍රදර්ශනය කිරීම අවශ්‍යය. ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීම අවශ්‍යය. බස් රිය තුළ ඔරලෝසුවක්, හදිසි ගිනි නිවන උපකරණ සහ ප‍්‍රථමාධාර ඒකක පවත්වාගෙන යා යුතුය. අතරමග මගීන් ද සහිතව ඉන්ධන පුරවා ගැනීමට නතර කිරීම තහනම්ය. සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී සේවා පවත්වාගෙන යන විට නියමිත ආසන ගණනට වඩා මගීන් නංවා ගැනීම නීති විරෝධීය. මෙකී විධිවිධාන ක‍්‍රියාත්මක කරන්නේ නැතිනම් ගමනාගමන කොමිසමෙන් රටට ප‍්‍රයෝජනයක් නැත. කොමිසම අක‍්‍රීයය. අඩුම තරමින් එහි වෙබ් අඩවිය හෝ ක‍්‍රියාත්මක නොවේ. දුරකථනයකට අමතා පැමිණිල්ලක් කරන්නට මගී ජනතාව අසමත්ය. මහපාරේ ඒකාධිකාරය අත්පත්කරගෙන ඇති බස් සංගම් ගාස්තු අඩු කරනු සඳහා ඇති අවකාශය අමතක කරන අතර ආණ්ඩුවට කොන්දේසි පනවන්නට නැඹුරැ වී ඇත.
ඉන්ධන පිරිවැය අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුව අඩු කළ යුතුව තිබිය දී බස් සංගම් අනෙක් කොන්දේසි ඉදිරිපත් කරමින් සිටී. නාගරික ප‍්‍රදේශවල හඳුන්වා දී ඇති මගී බස් රථ ප‍්‍රමුඛතා තීරැ ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කළහොත් අවම ගාස්තුව රු. දෙකකින් අඩු කර රු. 10.00 කට සීමා කරන බව දක්වා ඇත. ප‍්‍රමුඛතා මංතීරැව නිසි පරිදි සලකුණු කර ඇති නමුත් බස් රථ ඒවායේ ධාවනය කරන්නේ නැත. අධික ශබ්ද සහිත නලා නාද කරමින් පාර පුරා ධාවනය කරන බස් රථ පාලනය කරනු සඳහා බස් රථ ධාවන පරීක්ෂාවෙහි නිරත නිලධාරීන් පමණක් නොව රථ වාහන පොලිස් නිලධාරීහු ද අසමත්ය. එය කනගාටුදායක තත්ත්වයකි.
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව මෙරට ධාවනය වන පෞද්ගලික බස් රථ ප‍්‍රමාණය 20,000 නොඉක්මවයි. මෙම ප‍්‍රමාණය පාලනය කරන්නට නොහැකි ආණ්ඩුවක් අනෙක් දෙයක් කරන්නේ කෙසේද? අඩුම තරමින් එක මගී බස් රථයකට එක පොලිස් නිලධාරියකු හෝ නංවා බස් රථවල විනයක් ඇති කළහොත් එය රටට යහපත්ය. එයට අවශ්‍ය වන්නේ නිලධාරීන් විසි දහසකි. බස් රථ විසි දහසක් පාලනය කරනු සඳහා කොමිසමක්, අන්තර් පාලන ආයතන හා පළාත් සභා මට්ටමින් දෙපාර්තමේන්තු වෙනුවෙන් කරන විශාල පිරිවැය දෙස බලන විට පෞද්ගලික බස් පාලනය කිරීමට නොහැකිවීම ආණ්ඩුවක් බලවත් ලජ්ජාවට පත් විය යුතු එක කරුණකි.
මෙරට පොදු ප‍්‍රවාහන සේවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. 1978 දී පෞද්ගලික බස් කර්මාන්තය පැමිණීමෙන් වෙනසක් සිදුවිය. එහි ඵල විපාක ගැන පොදු ජනතාවට හොඳ අවබෝධයක් තිබේ. මගී තෘප්තිය, රටේ ආර්ථිකයට දෙන දිරිය ගැන මෙරට පොදු මගී ප‍්‍රවාහනය කිසිසේත් තකන බවක් පෙනෙන්නේ නැත. රජය පමණක් පවත්වාගෙන ගිය ලංගම මගී ප‍්‍රවාහනය රටට අවශ්‍ය පරිදි ප‍්‍රසාරණය කිරීමට ඇති අපහසුතාවය හමුවේ පෞද්ගලික බස් රථ සේවාව ආරම්භ විය. රජය හා පෞද්ගලික බස් රථ තරගකාරීව ධාවනය කර එයින් මහජනතාවට උසස් සේවාවක් සැපයීම එහි පළමු අභිලාශය විය. අද එය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක් උදෙසා සකස් කළ වාර්තාවට අනුව මෙරට මගීන්ගෙන් සියයට 73 ක් පොදු ප‍්‍රවාහන සේවා උපයෝගී කර ගනිති. එහි තොරතුරැ පෙන්වන ආකාරයට මෙරට මගී ප‍්‍රවාහනයෙන් සියයට 68 ක් බස් රථ වන අතර එයින් ද ඉහළ ප‍්‍රතිශතයක් වෙන්වන්නේ පෞද්ගලික මගී ප‍්‍රවාහන බස්වලටය. එම ප‍්‍රතිශතය සියයට 45 කි. රජයට අයත් ලංගම සේවාවට සමස්ත මගී ප‍්‍රවාහනයෙන් හිමිවන්නේ සියයට 23 ක් බව වාර්තාවල දැක්වෙයි. ජනතාව දිනපතා කරන ගමන් බිමන්වලට කරන වියදම සීමාව ඉක්මවා ගොස් ඇති බව අනෙක් වැදගත්ම කාරණයකි. පවුලක මාසික ප‍්‍රවාහන වියදම රැ. 4463.00 කි. දරැවන්ගේ ඉගෙනීමට වියදම රු. 2060.00 ක් හා බෙහෙත් හේත් වැනි දේ වෙනුවෙන් රු. 2529.00 ක මාසික වියදම සලකන විට එය ඉහළ ප‍්‍රතිශතයකි. එම වාර්තාවට අනුව ආහාර වියදම මාසිකව රු. 19,114 කි. මේවා මෙරට පර් යේෂකයන්ගේ අවධානයට ලක් විය යුතුය. මෙවැනි විශාල වියදමක් සහිතව පවා මගීන් පොදු ප‍්‍රවාහනයේ ගමන් කරන්නේ කිසිම පහසුවකින් නොවේ. මෙරට පොදු ප‍්‍රවාහනයේ පවතින දුබලතා හෙයින් කාන්තාවෝ අතවරවලට පත්වන අතර කාන්තාවන් රැකී රක්ෂා කිරීම පහත වැටී ඇති බව ලෝක බැංකුව හෙළිදරව් කර තිබේ. බස් ගාස්තු ගැන වාර්තා හදන ආණ්ඩුවේ නිලධාරීන් ශෝකජනක පැත්ත අවධානයට නොගන්නේ ඇයි? ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරැ කළ යුතු පාර්ලිමේන්තුවේ පමණක් නොවේ. ජනතාවගේ එදිනෙදා පැවැත්මට ද එහි පහසුව දැනෙන්නට අවශ්‍යය.
ලක්සම්බර්ග් රාජ්‍යය පොදු ප‍්‍රවාහනය සම්පූර්ණයෙන් නොමිලේ සම්පාදනය කරන්නට තීරණය කර තිබේ. එය 2019 වසරේ සිට ක‍්‍රියාත්මක වනු ඇත. රටක් එවැනි ප‍්‍රතිපත්ති තීරණයකට එන්නේ ඇයි? පුරවැසියන්ගේ යහපත වෙනුවෙන්ය. ජාතික අභිමානය සලකා බලමින්ය. පොදු ප‍්‍රවාහනය ශක්තිමත් වන විට පෞද්ගලික වාහන භාවිතය පහත වැටේ. එය මාර්ග තදබදය අවම කරයි. පරිසරය දූෂණය පාලනය කරන තත්ත්වයකි. බස් ගාස්තුව රැපියලකින් අඩු කරන්නට කොමිසම් පත් කරන ආණ්ඩුවකට බස් ගාස්තුවක් නැති ප‍්‍රවාහන ක‍්‍රමයක් ගැන හිතන්නට පුළුවන්කමක් නැත. තමන්ගේ අධි සුඛෝපභෝගී වාහන ගැන බොහෝ උනන්දු වන මැති ඇමැතිවරැ දුප්පත් මගී ජනතාව බස් රථවල ගමන් කරන්නේ කෙසේදැයි තේරැම් ගන්නට උත්සාහ නොකරති. අභාග්‍යය එයයි. ඩීසල් මිල අඩු අවස්ථාවක එහි වාසිය බස් මගීන්ට ලබා දෙන්නට උත්සාහයක් නැති රටක පොදු ප‍්‍රවාහනය ගැන අලුත් අර්ථකතන යෝජනා කරන්නේ කෙසේද?
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වන විට පොදු ප‍්‍රවාහනය සම්බන්ධව අලුත් දර්ශනයක් රටට අවශ්‍යය. ඉදිරි පස් වසර තුළ කොළඹ නගරය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබේ. චීන ආයෝජනයක් වශයෙන් අක්කර පන්සීයයකින් යුත් අලුත් නගරයක් මුහුද ගොඩකර ඉදිකෙරෙමින් තිබේ. දැනට අලුත් අති විශාල හෝටල් සහ මහල් නිවාස සංකීර්ණ ගණනාවක් ඉදිකරන යෝජනා අනුමත වී තිබේ. මෙම මහල් නිවාස, හෝටල් සංකීර්ණවල පදිංචිකරැවන්, එහි සේවාවලට යන එන අය වෙනුවෙන් පොදු පහසුකම් සපයන්නේ කෙසේ ද? අඩුකරන බස් ගාස්තුව එක රුපියලකි. ආණ්ඩුවේ මහත්වරැනි එය ඔබගේ භාරයට ගන්න. වසර 2025 වන විට හෝ රටට හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් හදන සැලස්මක් වෙනුවෙන් එම එකතුවන ආදායම යොදවන්න. එය රටට විශාල උපකාරයකි.
ගාමිණී සරත් ගොඩකන්ද
gsgodakanda@gmail.com