2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධිය

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 321

මාවනැල්ල හා කඩුගන්නාව අවට ප්‍රදේශවල ප්‍රසිද්ධ ස්ථානයන්හි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවලට පහරදී විනාශ කරදැමූ සිදුවීම් කීපයක් වාර්තා විය. බැලූ බැල්මටම ආගමික හා ජාතිවාදය පතුරවන ආකාරයෙන් සිද්ධිය ක්‍රියාත්මක කිරීම පසුපස යම් සංවිධානගත පිරිසක් ඇති බැව් පැහැදිලිය. තත්ත්වය වාර්තාවීමත් සමඟ බුද්ධි අංශ හා පොලීසිය ක්‍රියාත්මක වීමෙන් ඊට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් ඒ බැව් අනාවරණය වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි දොඩංවල ඇතුළු ස්ථාන කීපයක ප්‍රසිද්ධ ස්ථානවල මාර්ග අසල තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවල මුහුණ හා ශීර්ෂය ඇතුළු ස්ථාන රාශියකට පහරදී කඩා දමා විකෘති කර දැමීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය දිනවලදී වාර්තා විය. ප්‍රසිද්ධ ස්ථානවල අභිනවයෙන් ඉදිකර තැන්පත් කර තිබෙන බුද්ධ ප්‍රතිමා මෙසේ පහරදී විනාශ කරන්නේ කාගේ වුවමනාවකටද? ඒ පසුපස ඇති බලවේගය කුමක්ද? යන්න ප්‍රදේශයේ ආගමික නායකයින් අතර මෙන්ම ජනතාව තුළත් පැවැතියේ අභිරහසකි. එසේම සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත සැකපහළ වී තිබුණේ ආගමික හා වාර්ගික ගැටුමක් නිර්මාණය කිරීම සඳහා යම් පිරිසක් රහසිගතව කුමන්ත්‍රණය කරන බවය.

මේ අතර උදාවෙමින් තිබුණේ ඉකුත් බදාදා (26) අළුයම් කාලයයි. වෙලාව එදින අළුයම 4ට පමණය. මාවනැල්ල ළිඳුලවත්ත මංසන්ධියේ වැඩහිඳුවා තිබූ බුද්ධ ප්‍රතිමාවකට පහරදෙමින් පිළිම වහන්සේ විනාශ කරමින් සිටි දෙදෙනෙකි. මේ බව දුටු ප්‍රදේශවාසී තරුණයන් දෙදෙනෙක් පැන යන්නට උත්සාහ කළ සැකකරුවන් ලුහුබැඳ එක් අයෙක් ග්‍රහණයට නතු කරගෙන තිබූ අතර ඔවුන් පැමිණි යතුරුපැදියේ නැගගත් එක් සැකකරුවෙක් පළාගොස් තිබුණි. පසුව අල්ලා ගැණුනු සැකකරු ගස්බැඳ තබා මාවනැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත බාරකරන්නට ගම්මුන් පියවර ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු මාවනැල්ල හිඟුල, දෙල්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික තරුණයෙකි. ඒ අනුව සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් මාවනැල්ල ප්‍රදේශයට පිටත්කර යැවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබුණි. එසේම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් කණ්ඩායම් කීපයක් යෙදවීමට පියවර ගෙන තිබුණි.

මේ අතර සිදුවීම පිළිබඳව මාවනැල්ල ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ආගමික නායකයින් ඇතුළු පිරිස බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේ රැස්වී විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබුණේ ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යා යුතු ආකාරයට විසඳුම් සෙවීමටය. එවැනි තත්ත්වයක් තුළ අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තොරතුරු රැසක් හෙළිකර තිබුණි. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙක් 26 වැනිදාත් එක් සැකකරුවෙක් 27 වැනිදාත් වශයෙන් සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බුදුපිළිමවලට හානිකරමින් හැසිරුණු පිරිස ඉස්ලාම් ආගමට අනුව පැවති සංවිධානයක සාමාජිකයන්ව සිට ඇත. කුරාණය අනුකූලව "තව්හිත්" නැමැති සංවිධානයක කටයුතු කරමින් සිට ඇති මොවුන් ඊට පටහැනිව අන්තවාදී ලෙස කටයුතු කිරීමට උත්සාහ කිරීම ඔවුන් තව්හිත් සංවිධානයෙන් ඉවත් කර ඇත. ඉන්පසුව "ජමාත් ඉස්ලාම්" නමින් සංවිධානයක් බිහිකරමින් ඊට තරුණයින් 8 දෙනකු එකතු කරගෙන ඇත. මේ පිරිස ඉස්ලාම් අන්තවාදීන් ලෙස පෙනී සිටිති.

මෙම කණ්ඩායමේ සමස්ත සාමාජිකයන් ගණන 9කි. පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ පිළිමයක් කඩමින් සිටියදී අයෙක් කොටුකරගත් මොහාතේ පළාගිය පුද්ගලයා එකී නායකයා බව කියති. මේ සඳහා යතුරුපැදියක් භාවිතාකර ඇති අතර පිළිම කැඩීම සඳහා කඩුවක් සහ මිටියක් භාවිතා කර ඇති බවට අනාවරණය කරගෙන ඇත. සිදුකළ විමර්ශන අනුව අන්තවාදී කණ්ඩායමේ නායකයා සහ තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය. සෙසු සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
සැලසුම් සහගතව ගැටුම් ඇති කිරීමේ උත්සාහයක්

අස්ගිරි මහා පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි

මෙවැනි සිදුවීමකදී අපිට පැති කීපයක් බලන්න සිදුවෙනවා. අවස්ථානුකූලව ජනවාර්ගික හා ආගමික ගැටුම් ඇතිවෙන තත්ත්වයක් දකින්න තිබෙනවා. පසුගිය කාලේ බේරුවල, තෙල්දෙණිය, ගිංතොට හා මාවනැල්ල සිද්ධි මේකට උදාහරණ වෙනවා. මේ සිදුවීම පිළිබඳ ජිනීවා සමුළුවේ කතාබහට ලක්වෙනවා. එතැනදී නොයෙක් විදිහට බෞද්ධ පාර්ශ්වයට චෝදනා එල්ල වෙනවා. මේ ඔස්සේ ලංකාවේ ආගමික ගැටුම් වර්ධනය වෙනවා හා පවතිනවා කියලා ප්‍රශ්න මතු කරනවා. තෙල්දෙණිය සිදුවීමෙන් මෙහෙමම වුණා. මේ නිසා පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ සිද්ධිය හිටිගමන් සංවිධානය වූ එකක් විදිහට දකිනවා. මීට කලින් රටපුරා වගේම මාවනැල්ලේ බුදුපිළිම තිබුණා. අපි හැමෝම සමගියෙන් ජීවත් වුණා. හදිසියේ මෙහෙම දෙයක් වෙන්නේ යම් සංවිධානගතවීමක් නිසයි. එන මාර්තු මාසෙ නැවත ජිනීවා සමුළුව ඇරඹෙනවා. එතැනදී මේ අනවශ්‍ය සිදුවීම් හා කාරණා නැවත මතුවෙනවා. මේක යම් පිරිසකගේ වුවමනාවට බෞද්ධ ජනතාව කුපිත කිරීමේ අරමුණෙන් කරනවා වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැකයක් තිබෙනවා. හැම අවස්ථාවකදීම සිංහල බෞද්ධ ජනතාවට තමයි මේ වගේ චෝදනා එල්ල වෙන්නෙ බහුතර ප්‍රජාව නිසා. ගැටුම් නිර්මාණය කරන සැලසුම් සහගත දෙයක් විදිහට මේක දකිනවා. ආගමික නායකයන් ඒකරාශි වෙලා මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුයි.

කවුරු කළත් අපි විරුද්ධයි
මවුලවී එම්.එස්.එම්. කාසීම්

සමස්ත ලංකා ජෙමියතුල් උලමා මුස්ලිම් විද්වත් සංගමයේ උපලේකම්

මේ සිද්ධිය අපි හෙළා දකිනවා. මෙවැනි සිදුවීම්වලට අපි එකහෙලාම විරුද්ධයි. ඉස්ලාම් කියන එකේ අදහස සාමය. අපි රටේ ලෝකෙ හැමෝටම සාමය බලාපොරොත්තු වෙනවා. එතනින් සහජීවනය අපේක්ෂා කරනවා. මේ සිද්ධිය කවුරු කළත් අපි විරුද්ධයි. පොලීසිය, ආරක්ෂක අංශ මේ පිළිබඳ විමර්ශනය කළ යුතුයි. අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි. මේක මුස්ලිම් වැසියන් කීප දෙනකු කළාට හැම මුස්ලිම් ජනතාවම එහෙම නෑ. එක්කෙනෙක් දෙන්නෙක් නිසා සමස්ත ජාතියක් දෙස වැරදියට දකිනවා. මුස්ලිම් ජාතිකයන් 99.9%ක්ම මේකට විරුද්ධයි.

ඉදිරියට මෙවැනි සිදුවීම් නොවීමට වගබලා ගත යුතුයි. අපි ආරක්ෂක අංශවලින් එහෙම ඉල්ලා සිටිනවා. මේවාට සම්බන්ධ කල්ලි කණ්ඩායම් පිළිබඳ තොරතුරු වාර්තා වුණොත් අපි ඒවා ආරක්ෂක අංශවලට දන්වලා අවශ්‍ය පියවර ගන්න කියලා ආණ්ඩුවට සහාය දෙනවා. මේ සම්බන්ධයෙන් අපි අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා.

 සමන්ත ප්‍රදීප් විල්තෙර